Saturday, April 19, 2025
Home » ඖෂධවලට වැට් බද්ද එකතු කර නැහැ

ඖෂධවලට වැට් බද්ද එකතු කර නැහැ

-අගමැතිනි හරිනි අමරසූරිය

by sachintha
February 26, 2025 2:48 am 0 comment

ඖෂධවලට වැට් බද්ද එකතු කර නැතැයි අගමැති හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළාය.

අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවිය මේ බව සඳහන් කළේ 2025 වසර සඳහා වන අය-වැය විවාදය සඳහා ඊයේ (25) සිය අදහස් දක්වමිනි.

අගමැතිනිය මෙසේද පැවසුවාය.

ඖෂධවලට වැට් බද්ද එකතු කර ඇති බවට විපක්ෂය දිගින් දිගටම සඳහන් කළද දේශීයව නිෂ්පාදනය කරන ඖෂධවලට අවශ්‍ය අමුද්‍රව්‍යවලට තිබූ හා පිටරටින් ගෙන එන ඖෂධවලට තිබූ වැට් බද්දත් ඉවත්කර තිබෙනවා.

මෙහිදි අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ ඖෂධ සඳහා තවදුරටත් වත්මන් ආණ්ඩු වැට් බදු අය කරමින් සිටින බවයි.

අය – වැය සම්මත වීමෙන් පසු අදාළ පනත් කෙටුම්පත් සියල්ල රැගෙන ඒමට කටයුතු සූදානම් කර තිබෙන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහි‍දී පැවසීය.

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙ‍ෙණවිය –

බෙහෙත්වලට වැට් එකක් එකතු කරලා කියලා දිගින් දිගටම කියනවා. බොරුනේ කියන්නේ. බෙහෙත්වලට වැට් එකක් නෑ. දේශීයව නිෂ්පාදනය කරන බෙහෙත්වලට තියෙන අවශ්‍ය අමුද්‍රව්‍යවලට තියෙන වැට් එක අපි ඉවත් කරලා තියෙනවා. පිටරටින් ගේන ඒවටත් වැට් එකක් නෑ. බෙහෙත්වලට වැට් එකක් නෑ. අසත්‍ය තොරතුරු කියන්න එපා.

මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා –

බෙහෙත්වලට තවමත් තමුන්නාන්සේලාගේ ආණ්ඩුවෙනුත් සියයට 18ක වැට් බද්දක් ගහනවා. සෞඛ්‍ය ඇමැතිතුමා කියනවා වැඩියෙන් මුදල් වෙන් කරලා තියෙනවාලු සෞඛ්‍යට. මම කියපු දේ අසත්‍යයි කියලා අගමැතිතුමිය කිව්වා. තමුන්නාන්සේලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 103 පිටුවේ තියෙනවා ළදරු කිරි ආහාර, ඖෂධ, පාසල් පොත් උපකරණ යන දේවල්වලට වැට් බිංදුවට ගේනවා කියලා තියෙනවා. ඒ කියන්නේ වැට් තියෙනවානේ.

සභානායක ඇමැති බිමල් රත්නායක මහතා –

ජනාධිපතිතුමා මීට කලින් පාර්ලිමේන්තුවට ආර්ථික ප්‍රතිපත්ති ප්‍රමාණයක් ඉදිරිපත් කළා අය-වැයට කලින්. ඒකෙදි එතුමා කිව්වා වැට් එක අඩු කරන ඒවා, පේඊ ටැක්ස් එක අඩු කරන ඒවා ගැන කිව්වා. ඒ අනුව මේ අය-වැය සම්මත වුණාට පස්සේ ඒ පනත් සියල්ල අපි සූදානම් කරලා තියෙන්නේ. හරියටම වැට් එක අඩු වෙනවා මිනිස්සුන්ට සහනයක් වෙන ආකාරයට.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT