කොළඹදී 2016 වසරේ පැවැති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාසයක් සිදුවන ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු වී මාස 09ක ලිහිල් සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මාපා බණ්ඩාර මහතා ඊයේ (25දා) නියෝග කළේය.
ඥානසාර හිමිට දී ඇති දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවට විත්තිකරුගේ නීතිඥයන් කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් පසු විනිසුරුවරයා මෙම නියෝගය දුන්නේය.
ඒ අනුව ඥානසාර හිමියන් රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට නියම විය.
2016 වසරේ ජූලි මස 08 වනදා කිරුළපන ප්‍රදේශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291(අ) වගන්තිය යටතේ පොලිසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබිණ.
එම නඩුවට වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත්දා ලිහිල් වැඩ සහිත මාස 09ක ලිහිල් වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලදී. එම දඬුවමට එරෙහිව ඥානසාර හිමියන් මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
එම අභියාචනය ඉදිරිපත් කිරීමෙන් පසු එය විභාග කොට අවසන් වන තෙක් තමන් වහන්සේ ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඥානසාර හිමියන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළ ද එය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.
තමන්ට ඇප ප්‍රතික්ෂේප කරමින් මහෙස්ත්‍රාත්වරයා දුන් තීන්දුව නීතියට පටහැනි බවත් එය ප්‍රතිශෝධනය කොට ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඥානසාර හිමියන් සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබේ.
පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගාමිණී අල්විස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් වරදකරු කරනු ලැබූ විත්තිකරුවකු අභියාචනයක් ඉදිරිපත් කළ විට ඔහු ඇපමත මුදාහළ හැක්කේ ඇප පනතේ 19(2) වගන්තියට අනුව පමණක් බව අවධාරණය කළේය.
එම වගන්තියට අනුව ඇප ඉල්ලීමක් සලකා බැලිය හැක්කේ යම් විත්තිකරුවකුට එල්ල වී තිබෙන චෝදනාවල බරපතළභාවය සහ ඔහුගේ පෙර ක්‍රියා කලාපය යන කරුණු මත බව ද නීතීඥවරයා පෙන්වා දෙන ලදී. එහෙත් මහෙස්ත්‍රාත්වරයා එම නීතිමය ප්‍රතිපාදනය සැලකිල්ලට නොගෙන ඇප දීමට සුවිශේෂ කරුණු නොමැති බව සඳහන් කරමින් ඇප ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අභියාචනයට යටත්ව සිටින විත්තිකරුවකුට ඇප නියම කිරීමේදී මහෙස්ත්‍රාත්වරයකු විසින් සැලකිල්ලට භාජනය කළ යුත්තේ ඇප පනතේ 19(2) වගන්තිය පමණක් බව සඳහන් කළාය.
එහෙත් සුවිශේෂී කරුණු නොමැති බව සඳහන් කරමින් විත්තිකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මහෙස්ත්‍රාත්වරයා දුන් තීන්දුව නීතියට අනුව දුන් නියෝගයක් නොවන බවත් ඇය පෙන්වා දුන්නාය. ඒ අනුව අධිකරණයට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව මෙම නියෝගය දුන්නේය.
චන්දන ජයවීර