Home » උසාවියට අපහාස කළ හිටපු නීතිඥයාට වසර 2ක සිරදඬුවම් දස වසරකට අත්හිටුවයි

උසාවියට අපහාස කළ හිටපු නීතිඥයාට වසර 2ක සිරදඬුවම් දස වසරකට අත්හිටුවයි

by sachintha
February 26, 2025 12:36 am 0 comment

වෘත්තීය ආචාරධර්ම කඩකළ බවට චෝදනා එල්ල වීම හේතුවෙන් නීතිඥභාවය අත්හිටුවා තිබියදී ඒ සම්බන්ධයෙන් වන නඩුවට අදාළව අපහාසාත්මක කරුණු ඇතුළත් ලේඛන ඉදිරිපත් කිරීම මඟින් අධිකරණයට අපහාස කිරීමට වරදකරු වූ පුද්ගලයකුට බරපතළ වැඩ සහිතව වසර දෙකක සිරදඬුවමක් නියම කර එය වසර 10කට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (25) නියෝග කළේය.

එසේම රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමට ඔහුට නියම වූ අතර, එම මුදල දින 90කදී ගෙවිය යුතු බවට නියෝග කෙරිණි. එම මුදල නොගෙවන්නේ නම් වසර දෙකක සිරදඬුවමක් ද නියම කෙරිණි.

අදාළ ලේඛන ඉදිරිපත් කිරීම මඟින් බැලූ බැල්මට අධිකරණයට අපහාස කර ඇති බව පෙනී යෑම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් මීට පෙර කරන ලද නියෝගයකට අනුව බන්ධනාගාරගත කර සිටි ඩබ්ලිව්.ඩී. ධර්මසිරි කරුණාරත්න නමැත්තකුට මෙලෙස අත්හිටුවූ සිරදඬුවම් සහ දඩ මුදල් නියම කෙරිණි.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැවති නඩු විභාගය අවසන් කිරීමෙන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශ කරමින් මේ බව ප්‍රකාශ කෙරිණි.

අදාළ නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කළේය. නඩු විභාගයේදී ඉදිරිපත් වූ කරුණු අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට විත්තිකරු වරදකරු බවට තීරණය කරන බව ද ඒ අනුව ඔහුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරන බව ද එහිදී ප්‍රකාශ කෙරිණි.

කෙසේ වුවද අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට මෙම නඩු විභාගය අතරතුරදී විත්තිකරු වරද පිළිගැනීම සහ ඔහුගේ මානසික තත්ත්වය සලකා එම සිරදඬුවම අත්හිටුවීමට නියම කරන බව විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා එහිදී සඳහන් කළේය.

එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ‘මෙම නියෝගයට අනුව තමාට බන්ධනාගාර භාරයෙන් නිදහස් විය හැකි බවත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඇති වගන්තිය අනුව හැසිරීමට වගබලාගන්නා ලෙසත්’ විත්තිකරු අමතමින් අවවාද කළේය. අභියාචනාධිකරණ ලේඛනාගාරයේ තිබූ නඩු ගොනුවක් අනවසරයෙන් ගෙන එහි තිබූ ලේඛනයක් විනාශ කිරීම මඟින් නීතිඥභාවයේ වෘත්තීය ආචාරධර්ම කඩ කර ඇති බවට චෝදනා ලැබ නීතිඥභාවය අත්හිටුවා සිටින විත්තිකරු එම නඩුවට අදාළව දිවුරුම් ප්‍රකාශ සහ ලේඛන කිහිපයක් මීට පෙර ඉදිරිපත් කර තිබිණි. අධිකරණය විවේචනය කරන සහ අධිකරණයට අපහාසාත්මක වන ආකාරයේ කරුණු ඒවායෙහි ඇතුළත් කර ඇති බවට අවධානය යොමු කළ විනිසුරු මඬුල්ල ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීට පෙර නියම කළේය.

අභියාචනාධිකරණ ලේඛනාගාරයේ තිබූ නඩු ගොනුවක ලේඛනයක් අනවසරයෙන් ලබාගෙන විනාශ කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට එරෙහිව අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් පැමිණිල්ලක් ගොනු කර තිබිණි. ඒ අනුව ඊට අදාළ අපරාධ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතී.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT