සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් අවභාවිත කිරීමට ආධාර අනුබල දෙමින් රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මඟ නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් දෙදෙනකු ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (25) නියෝග කළාය.
මඟ නැගුම හිටපු නිලධාරීන් වන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අබේසිංහ අධිකාරී සහ අතිරේක සාමාන්‍යාධිකාරි (මුදල්) අනගිපුරගේ මයිකල් නමැති සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා 2012 සහ 2015 අතර කාලය තුළදී රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබල දෙමින් ව්‍යාපෘති සඳහා ව්‍යාජව මුදල් වෙන් කර ඇති බව ද මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2017 වර්ෂයේදී අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි සැකකරුවන් පොදු දේපොළ පනතේ 386 (5) 1 වගන්තිය යටතේ අත්අඩංගුවට ගත් බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ. සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරියන් වන අචනී උමයංගනා, මහේෂිකා කොස්වත්ත පෙනී සිටි අතර සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විමර්ශනයට අදාළ ප්‍රධාන පැමිණිලි ගොනුව අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ හෙයින් නියෝගයක් ලබාදීමට පෙර එම ගොනුව ද පරීක්ෂා කළ යුතු බව සඳහන් කරමින් සැකකරුවන් පොදු දේපොළ පනත යටතේ ඉදිරිපත් කරන බැවින් 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර සියලු කරුණු එදිනට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය.
කල්පනි අබේසිංහ