දිළිඳු බව තුරන් කිරීම සඳහා බහුවිධ ප්‍රවේශ ඇතුළත් ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුගතව ‘පොහොසත් රටක් – සුරක්ෂිත ජීවිතයක්’ යන දැක්ම සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි බහුවිධ ප්‍රවේශයක් සහිත ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් ඇමැති උපාලි පන්නිල මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය හිමිව ඇත. එසේ අනුමැතිය ලද කැබිනට් තීරණය මෙසේය. වර්තමාන ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සෑම පුද්ගලයන් 06 දෙනකුගෙන් එක් අයකු බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන අතර, එම ජනගහනයෙන් 95.3%ක් ග්‍රාමීය හා වතු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වේ. ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක කරනු ලැබ ඇති දිළිඳු බව තුරන් කිරීමේ වැඩසටහන් මඟින් ලැබී ඇති අවසන් ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයක් සෑහීමට පත්ව නොමැති බව ඒ සම්බන්ධයෙන් පළ කරනු ලබන අදහස් දැක්වීම් මඟින් පෙනී යයි. පසුගිය දශක කිහිපය තුළ දිළිඳුකම පිටුදැකීමේ සුබසාධන වැඩසටහන් මඟින් සහන සලසන ලද ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව සහ ඒ සඳහා වැය කරනු ලැබ ඇති මුදල් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ. වසර 2000 වන විට ප්‍රතිලාභී සංඛ්‍යාව මිලියන 1.10ක් වී ඇති අතර, 2010 වර්ෂය වන විට එම සංඛ්‍යාව මිලියන 1.57ක් දක්වා වැඩි වී ඇති අතර 2024 වර්ෂය වන විට එම සංඛ්‍යාව මිලියන 1.79ක් දක්වා තවදුරටත් වර්ධනය වී තිබේ.
මෙම තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යෑම රටේ ආර්ථික හා නිෂ්පාදන ක්‍රියාවලියට අහිතකර ලෙස බලපාන බැවින්, අවදානම් කණ්ඩායම් පමණක් විධිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළකට යොමු කර අනෙක් පිරිස ආර්ථික ක්‍රියාවලියේ සක්‍රිය කොටස්කරුවන් ලෙස දායක කර ගනිමින් ක්‍රමවත්ව සැලැසුම් කරන ලද වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුව ඇත.
නුවන් කොඩිකාර