ශ්‍රී ලංකාවේ සංරක්ෂිත සත්ත්ව කොට්ඨාස අතර අලි ඇතුන් සඳහා ඉතා වැදගත් ස්ථානයක් හිමිවේ. වර්තමානයේදී ශ්‍රී ලංකාවේ අලි ඇතුන් පිළිබඳ අසන්නට දකින්නට ලැබෙන්නේ ඉතාමත් කනගාටුදායක පුවත්ය. ලොව පුරා සත්ත්ව හිංසනයන් පිළිබඳ වාර්තා කරනු ලබන ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන පරිදි වාර්ෂිකව අලි ඇතුන් 20000-30000 අතර ප්‍රමාණයක් ලොව පුරා ඝාතනය වේ. අලි ඇතුන් ඝාතනය වැඩි වශයෙන් සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව ද වීම කනගාටුවට කරුණකි. ආගමික හා ආර්ථික වශයෙන් වටිනාකමක් සහිත වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අලි ඇතුන් ඝාතනය කිරීම ශ්‍රී ලංකාවේ නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. මෙහිදී හුදෙක් නීතිමය රාමුවක් පමණක් නොව මනුෂ්‍යත්වය පෙරදැරි කරගත් සදාචාරාත්මක රාමුවක් ද පැවතීම අත්‍යවශ්‍ය වේ. මෙරට අලි ඇතුන් ඝාතනය සම්බන්ධයෙන් ඛේදනීය පුවත් ඔබේත්, මගේත් කන වැකෙන්නේ අද ඊයේක සිට නොවේ. අලි ඇතුන් ඝාතනය සම්බන්ධයෙන් ආසන්නතම ආන්දෝලනාත්මක පුවත වූයේ කලා වැව් රක්ෂිතයේ කහල්ල, පල්ලකැලේ අභයභූමියේ සැරිසරමින් සිටි දීඝදන්තු දළ ඇතු මෙරට ප්‍රසිද්ධ රක්ෂණ සමාගමක කළමනාකරුවකු මුල් වී විදුලි සැර වද්දවා ඝාතනය කිරීමයි.
අලි ඇතුන්ගේ මරණ සංඛ්‍යාව ඉහළ යෑම සඳහා බලපාන ප්‍රධානතම හේතුවක්ව ඇත්තේ අලි – මිනිස් ගැටුමයි.
ගොවිතැන් ආදිය පුළුල් වී අලි ඇතුන්ගේ වාසස්ථාන ආක්‍රමණයට ලක් වී, ඔවුන්ගේ ආහාර සහ ජලමූලාශ්‍රවලට බාධා පැමිණීමත් සමඟ අලි ඇතුන් වේගයෙන් ගම් කරා ඇදීඒම සිදුව තිබේ. ගොවිතැන ආරක්ෂා කර ගැනීම, ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා මිනිසුන් අලි ඇතුන් ඝාතනය සිදු කරන අතර ඒ සඳහා ඉහළ වෝල්ටීයතාවයෙන් යුතු නීති විරෝධී විදුලි වැටවල් සවිකිරීම, වස ලබාදීම, හක්කපටස් වැනි පුපුරන ඇම ලබාදීම, වෙඩි තැබීම ආදී උපක්‍රම භාවිත කරනු ලබයි. ඇත් දළ ආර්ථික අගය ද අද වනවිට මීට තවත් හේතුසාධකයක් වී තිබේ. ඇත්දළ ආදියෙන් සිදු කරනු ලබන නිෂ්පාදන සඳහා දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් තිබෙන අතර මෙරට තුළ ඇත්දළ වෙෙළඳාම සඳහා දැඩි සීමා පනවා තිබේ. ඇතැම් පුද්ගලයෝ නීති විරෝධී ලෙස ඇත් දළ ලබා ගැනීමට අලි ඇතුන් ඝාතනය කිරීම සිදුකරති. එමෙන්ම දුම්රිය රියැදුරන්ට සිය වේග සීමාව පාලනය කිරීමට නොහැකිවීම හේතුවෙන් ද වාර්ෂිකව සැලකිය යුතු අලි ඇතුන් සංඛ්‍යාවක් දුම්රියට බිලිවීමෙන් මරණයට පත්වේ. මෙවන් හේතුසාධක මත මෙරට අලි ගහනය ශීඝ්‍රයෙන් පහළ වැටී තිබේ. අලි ඇතුන් ඝාතනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා නීති පද්ධතියක් පැවතිය ද එහි ඇති අවිධිමත් බව හා අකාර්යක්ෂම බව හේතුවෙන් මෙකී ගැටලුව සඳහා තවමත් නිසි විසඳුම් ලැබී නොමැත. අලි – මිනිස් ගැටුම් අවම කිරීම සඳහා වඩාත් ඵලදායී ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සහ ඒවා විධිමත්ව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙකල දැඩිව පවතියි. කථනය සහජයෙන් උරුම කරගත් මිනිසා මෙන් නොව සතා සිවුපාවාට සිය ජීවත් වීමේ අයිතිය උදෙසා හඬ නඟන්නට හැකියාවක් නොමැත. එබැවින් මේ වෑයම ඔබේත්, මගේත්, ඔවුන්ගේත් මිහිමත වූ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමටයි.
ඉන්දීවරී පෙරේරා
බේරුවල