වැලිමඩ මැතිවරණ කොට්ඨාසය හා හපුතලේ මැතිවරණ බලප්‍රදේශයට අයත් දියතලාව නගරයත් ඒකාබද්ධ කරමින් සකසා තිබෙන මාර්ගයට අයත් ගල්ඒදණ්ඩ හා අලුත්වෙල මැදින් ගලා බසින මහාඔය හරහා ඉදිකර තිබෙන මහා පාලම මේ වන විට ඉතාමත් අබලන් තත්ත්වයක පැවතීම නිසා එය කඩිනමින් අලුත්වැඩියා කර දෙන ලෙසට ප්‍රදේශවාසීන් මෙන්ම මාර්ගය භාවිත කරන රථවාහන රියැදුරෝ ද රජයෙන් ඉල්ලා සිටිති.
වැලිමඩ ගල්ඒදණ්ඩ හා දියතලාව අලුත්වෙල යන ගම්මාන අතරින් ගලා බැස්ස මහාඔය නිසා මෙම ගම්මාන හා අවට ගම්වාසීහු දැඩි ගමන් අපහසුවකට පත්ව සිටියහ. වැලිමඩ ගල්ඒදණ්ඩ අවට ගම්මානවල සිට අලුත්වෙල සිට කිලෝමීටර් 05ක් පමණ දුරකින් දියතලාව නගරය පිහිටා තිබේ. නමුත් ගල්ඒදණ්ඩ අවට ගම්වැසියන්ට වැලිමඩ බණ්ඩාරවෙල හරහා දියතලාව දක්වා කිලෝමීටර් 30ක පමණ දුරක් යාමට සිදු විය. දියතලාව අවට ගම්වැසියන්ට බණ්ඩාරවෙල හරහා වැලිමඩ නගරය හරහා ගල්ඒදණ්ඩ ගම්මානයට පැමිණීමට සිදු විය. මේ නිසා ප්‍රදේශවාසීන්ගේ බලවත් ඉල්ලීම මත 1996 වර්ෂයේදී ගල්ඒදණ්ඩ හා අලුත්වෙල අතර නව මාර්ගයක් සමඟ ගම්මාන දෙක මැදින් ගලා බසින මහාඔය මතින් පාලමක් ඉදිකරන ලදි. මේ නිසා දියතලාව ආශ්‍රිතව තිබෙන ත්‍රිවිධ හමුදා කඳවුරු මෙන්ම අනෙක් රජයේ කාර්යාල, දුම්රිය ස්ථානයටත් ජනතාවට ඉතාමත් කෙටි වේලාවකින් යෑමට අවස්ථාව උදාවිය. නමුත් මේ වන විට මෙම මහා පාලම අබලන්ව පවතී. වැසි සමයේ මහාඔයේ ගලා එන අධික ජලකඳ හේතුවෙන් අබලන් පාලම පෙරළී යෑමට ඉඩ ඇතැයි ගැමියෝ පවසති.
කේ.ආර්.ආර්. රාජමන්ත්‍රී- වැලිමඩ