Home » අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදියා ශ්‍රී නිශ්ශංක

අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදියා ශ්‍රී නිශ්ශංක

by sachintha
February 26, 2025 1:50 am 0 comment

“වරෙක මගේ කළණ මිතුරෙක් ගුරුවරයෙක් ලෙසින් ද උපදෙස් ගුරුහරුකම් දෙමින් ද දේශීය චින්තනය හා වෙසෙසින් බුදු දහම පිළිබඳව පුළුල් දැනුම, අවබෝධය ලබාදුන් සෙනෙහෙබර මිත්‍රයා අකාලයේ වයස පනස් හතරක් වැනි වියේදී සමුගෙන යාම මට දරාගත නොහැකි පාඩුවකි. ඔහු නිර්මාණය කළ පක්ෂය මා හට භාර දුන්නේ බලාපොරොත්තු සහගතවයි. එය ඒ අයුරින්ම පොදු ජනතාව වෙනුවෙන් මෙහෙයවන බව දිවුරා පොරොන්දු වෙමි.” කඳුළු පිරි දෑසින් යුතුව එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක නිශ්ශංක මහතාගේ අවමංගල්‍ය උත්සවය අමතමින් 1954.02.27 වැනිදා කිරුළපන යමුණා මන්දිරයේදී පැවසීය.

පෘතග්ජන මනුෂ්‍යයෝ වුණාම ධනය, බලය, තනතුරු අත්හරින්න හරිම අපහසුය. ඒත් අප කථානායකවරයා තමා ගොඩනැඟූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ එකට ඉගෙනගත් විශ්වාසවන්ත මිතුරා වූ බණ්ඩාරනායකයන්ට භාර දෙන්න තරම් නිර්ලෝභීවීම ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමකි.

නිහඬ විද්වතකු වූ නිශ්ශංක දිවේරිස් මෙන්ඩිස් හා මාලතී වික්‍රමරත්න සොයිසා ළමාතැනීට දාව වර්ෂ 1898 දක්ෂිණ දේශයේ බලපිටිය සුප්‍රකට ගරුමුණි වලව්වේ දී උපත ලැබීය. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනයත්, රාජකීය විද්‍යාලයෙන් උස්ස අධ්‍යාපනය ලද මෙතුමා වැඩිදුර නීතිය හැදෑරීම සඳහා මවුපිය ඥාති පිරිසගේත්, වෙසෙසින්ම ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිඳුන්ගේ මඟපෙන්වීම යටතේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළත් විය. එහිදී බණ්ඩාරනායක හමුවූ අතර ඔහු ද නීතිය හැදෑරීමට ගොස් සිටියේය. වැඩි කාලයක් යාමට ප්‍රථම දෙදෙනා ළෙන්ගතු මිතුරෝ වූහ.

නීතිය හැදෑරීමට එංගලන්තයට යාමට ප්‍රථම සිව් වසරක් තාවකාලික පැවිද්ද ලබා බුරුමයේ දී බුදු දහම හා භාවනා ක්‍රම පිළිබඳ මැනවින් හැදෑරු මොහුට යම් කෙනෙකුගේ දේහ ලක්ෂණ අනුව අනාගතය දැකීමේ විශ්ව ශක්ති බලයක් පැවතිණි. තම සමීප මිතුරාගේ සුවිශේෂි ලක්ෂණ හඳුනා ගත් මෙතුමා පියවරෙන් පියවර බටහිර චින්තනය වෙනුවට ශ්‍රී ලාංකීය දේශයට ගැළපෙන (බණ්ඩාරනායක) කෙනෙක් ගොඩනැංවූයේ අවංක මිතුරෙකු හා ගුරුවරයකු ලෙසිනි.

රාජ නීතිඥ එච්.ශ්‍රී. නිශ්ශංක හඳුන්වන්න පුළුවන” යැයි මෙරට ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු මෙන්ම පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් ලේකම්වරයා වූ අධිනීතිඥ සෑම් විජේසිංහ සූරීන් වර්ෂ 2012 නිශ්ශංක ගුණ සමරුවට එක්වෙමින් පැවසීය. හෙතෙම මෙසේද සඳහන් කරමින් “සැබෑවටම, රටට ආදරය කළ පුරුෂයෙක්, දේශීය මෙන්ම ජාත්‍යන්තරව විවිධ විෂයන් සම්බන්ධ විශාල දැනුම් සම්භාරයක් තිබුණි. අපේ භද්‍ර යෞවන වියේදී එතුමාගේ දේශනවලට සවන්දී තිබෙනවා. ජාතිවාදී, ආගම්වාදී අරගල දුර දිග යන්න නොදී මැඩ පැවැත්වූවා.”

මේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා වර්ෂ 1954දී වයස 54 සපිරෙත්ම හදිසි අභාවය නිසා බණ්ඩාරනායක මහතාට නිවැරදි අවංක මිතුරකු, උපදේශකයකු නැති වන අතර, එය ඔහුගේ අනාගත දේශපාලන දිවියට බලපෑවා. ශ්‍රී නිශ්ශංක පිළිබඳ නිවැරදි කියවීමක් හරිහමන් වැටහීමක් තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළවත් නොමැතිවීම කනගාටුවට කරුණකි. පක්ෂය ගොඩනැඟීමේදී භාවිත කළ පෑන, මේස, පුටු කිරුළපන යමුනා මන්දිරයේ වර්තමානයේ “යමුනා ආශ්‍රමයේ” සුරැකිව පවතී. මෙවැනි දෑ සංරක්ෂණය කිරීමට පක්ෂ වගකිවයුත්තෝ කටයුතු කරන්නේ නම් ඉතා අගනේය.

කොළඹ වැල්ලවත්ත බලප්‍රදේශයේදී සිංහල, දමිළ, මුස්ලිම් ප්‍රධාන විවිධ ජන කොටස්වල බලවත් ඉල්ලීම පරිදි නිතරගයෙන් නාගරික මන්ත්‍රී පදවියට පත්විය. එසේම ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කුරුණෑගල ජනතාවගේ බහුතර ඡන්දයෙන් තේරී පත්වීම ඉතිහාසගත සිදුවීමකි. සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපතිවරයා ලෙසින් තේරී පත්වුණ අතර, රජයේ වගකිවයුතු නිලතල රැසක් ඉසිළූහ. ලංකාව නියෝජනය කරමින් විදෙස් රටවල පැවති සම්මන්ත්‍රණවලට එක්වෙමින් මෙරටට කීර්තියක් අත්කරදීමට සමත්ව ඇත. ග්‍රන්ථ කතුවරයකු ලෙසින් ද දක්ෂතා දක්වා ඇති අතර ලංකා දණ්ඩ නීති සංග්‍රහය, එංගලන්ත ඉතිහාසය, සල්ගල පුදබිම, ඇතුගල්පුර සටනද, “සංඛ නාදය හා හෙළදිව” යන පුවත්පත් සංස්කරණය කරමින් සද්මෙහෙවරක නිරත විය.

තමාගේ නමේ මුලකුරු වන ශ්‍රී.නි. උපයෝගී කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනඟා එහි වර්ණය, ලාංඡනය හා ව්‍යවස්ථාව සකස්කර පක්ෂය ඉදිරියට ගෙනයාමට තම සමීප මිතුරා වූ බණ්ඩාරනායකයන්ට පැවරූ බෝධිසත්ව ගතිගුණවලින් හෙබි මෙතුමා සැබැවින්ම ලාංකීය දේශපාලනයේ මහත්මා චරිතයකි. රට දැය සමය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කළා සේම වත්මන් බෞද්ධ ප්‍රබෝධයේ මුල් පෙලේ ආදර්ශමත් නායකයකු වූ මෙතුමා වර්ෂ 1954 පෙබරවාරි 26 දා වයස 54 සපිරෙත්ම තම යමුනා මන්දිරයේ බුදුරුව දෙස බලාගෙන අවසන් හුස්ම හෙළීය.

නිශ්ශංක සමරු සංස­දයේ ලේකම්
ජගත් ජන­කාන්ත ගුණෙත්ති

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT