Tuesday, April 22, 2025
Home » කාලය විනිවිදීමට මො නර සන්නිය

කාලය විනිවිදීමට මො නර සන්නිය

by sachintha
February 26, 2025 1:47 am 0 comment

මොනරාගේ චර්යාව දකින්නට පමණක් නොව අසන්නට ද කවුරුත් කැමැත්තක් දක්වයි. ලෝක සත්ත්වයා සහ සූර්යයා අතර පවතින නොබිඳිය හැකි සම්බන්ධය කිසිදා යාන්ත්‍රිකව සූත්‍රගතකර අවබෝධ කරගත නොහැකිය. අතීත මිනිසා තමා සහ සූර්යයා අතර ඇති සම්බන්ධය දකින්නට මොනරා වාහනයක් කරගත්තා සේය. මොනර නැටුම යටින් දිවෙන ලිංගික ආරාධනාව ද සූර්යයාට අනුලෝමව සමානුපාත වේ. එය ද දැනෙන දෙයකි. සෙවිය යුතු දෙයක් නොවන්නේය. සූර්යයාගේ රැස් වළල්ල සහ මොනර පිල් අතර සම්බන්ධය ද එසේමය. මොනරාගේ අභිනයන් දෙස බලා සිටි සූර්යයා දෙවියකු සේ ඇදහූ මිනිසා උගේ අභිනයන් අනුදැක විධිමත්ව නටන්නට මයුර චර්යාව ද සම්බන්ධ කර ගත්තේය. මයුරා වන්නම නිර්මාණය වීම පිටුපස ඇති ඉතිහාසය දාර්ශනික, කලාත්මක සිතීමකට මඟපාදයි. සූර්යයා දෙවියකු සේ අදහන්නට පටන් ගත් මිනිසාට සූර්යයාට කිට්ටු වීමට ඇති නොහැකියාව නිසාම සූර්යයා අරමුණු කොට විස්තර කරගත් ස්වභාවයේ සම්මුති සියල්ල යම් සුවිශේෂී මිනිසකුට පටවා දෙවියකු බවට පත්කළා සේ පෙනේ. මේ භෞතික තත්ත්වයන් මිනිස් අධ්‍යාත්මයට සම්බන්ධ වූ විට ඒ දෙවියාට මුහුණු සයකි. අත් දොළසකි. ඇස් දොළසකි. කන් දොළසකි. මොනරුන්ගෙන් ද අඩුවක් නැති කතරගම වාසස්ථානය වූ නිසාම මයුර වාහනය ඒ දෙවියාට උරුම වී ඇත්තේ අහම්බයකින් විය නොහැකිය. කුජ ග්‍රහයා කතරගම දෙවියන්ට භාර කර ග්‍රහ මණ්ඩලයේ ඇමැතියා කර සූර්යයාට දෙවැනි කිරීමට බලපෑ හේතුකාරණා දේව සංස්ථිතිය ගොඩනැංවීමේදී පසුබිම් වූ දේශපාලන මතවාද ඔස්සේ විස්තර කරගත යුතුය. ලිංග සංකේතයක් මෙන් අදට ද ප්‍රචලිත මහා නාගයා ද පාගාගෙන මොනරා කදිරාගේ වාහනය වී ඇති අයුරු ලාංකේය වංශ කතාවට සිතන්නට, ලියන්නට තව බොහෝ දේ ඉතිරි කර තිබේ.

ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ පදනම මේ දෙවියන් මත පටවා ඇති බැවින් මුහුණු සයෙන් සෘතු හයද ශ්‍රමයේම බලයක් වූ අත් දොළසින් ග්‍රහ රාශි දොළස ද නිරූපණ කරමින් කදිර දෙවියන් සූර්ය දෙවියන්ගේ අවතාරය බවටම පත්කර ගත් බව පෙනේ. එක් පැත්තකින් ප්‍රාථමික මිනිසාට ඇදහිල්ලක් වුවත් තවත් පසකින් මෙය කාලය සහ ස්වභාවයේ ඒකත්වයේ සහ ප්‍රතිවිරෝධයේම ප්‍රකාශනයකි. ඍතු හරහා කාල අවකාශ තත්ත්වයන් නිවේදනය වෙන අතර ඇස් දොළසින් මිනිසාගේ දෘෂ්ටිය ද දොළොස් ආකාරයකට කැඩී අහස ද ග්‍රහ රාශි දොළසකට බෙදා, මිනිසා සිතන්නට සොයන්නට පොටක් පාදාගත් ආකාරය කිසිසේත්ම මිථ්‍යාවක් සේ සැලකිය නොහැකිය. “වම්මුන් නොදැන කතරගම ගොස් අතරමඟ නතර වූයේ මහපොළොවේ දේවල සැබෑ ප්‍රතිවිරෝධතා වටහා ගැනීමට කම්මැළි වූ නිසාය. මිනිසා තමන්ගේ දේ ග්‍රහයින් මත තබා සිතන්නට පටන් ගත්තා විනා ග්‍රහයන් මිනිසා මත තබා ග්‍රහයන්ව විස්තර කර ගත්තේ නැත. ස්වභාවයේ ඇති බලවේග විභේදනය කරමින් කතරගම දෙවියන්ව ජ්‍යොතිෂ්ශාස්ත්‍රීය දැනුම පද්ධතියට තවත් සමීප කළ කරුණක් වන්නේ රණ මොනරාව කදිර දෙවියන්ට බද්ධ කර ගැනීමය.

සූර්යයා සහ ලෝක සත්ත්වයාගේ ඇති සම්බන්ධයට කදිම නිදසුනක් වූ මයුරා කදිර වාහනය බවට නියමවීම කිසිසේත්ම අහම්බයක් විය නොහැකිය. “කතරගම පුර සුරිඳු වාහන කරති රණ මොනරා කියමින් මොනරාට වෙස් බැඳගත් නැට්ටුවෝ මොනරුන්ගේ හැඩය අභිනයෙන් රඟ දක්වන්නේ ද භක්තිය පමණක්ම මුල්කර නොවන වග වටහා ගැනීමට ඇස්, කන් ඇති මිනිසාට නොහැකියාවක් නැත. අහසත් පොළොවත් වෙන් කළ නොහැකි බව කියන්නේ අහසේ පොළොව පවතින නිසාම නොවන වග දැන් ඔබට අවබෝධ විය යුතුය. දාර්ශනික හැඩයකින් මිනිසාගේ අත්දැකීමෙන් නිර්මාණය වූ දැනුම පද්ධතියක් අද නතර වී තිබෙන්නේ දෙවියන්ව මුළා කර අහිංසකයන්ව ගසා කන්නටත්, ඒ දැනුම් සාරය අවිද්‍යාත්මක ලෙස හුවා දක්වමින් බලයක් නිර්මාණය කර ගැනීමටත් මාන බලන පිරිස් සිටියි. මේ වර්ගයේ සියල්ලන්ගෙන්ම ඔවුන්ගේ ලෞකික බලය සහ ආර්ථික දියුණුව තර කර ගැනීම හැර පොදුවේ මිනිසාට සිදුවෙන කිසිදු සෙතක් ශාන්තියක් බලාපොරොත්තු විය නොහැකිය. මේ නිමේෂයේ දේවල් නැවත කියවිය යුතුවීම යථාර්ථයක් වන්නේ එබැවිනි. අතපසු වූ දේවල් පිළිබඳ අලුත් කියවීමක් යනු සියල්ල ගොඩනැංවීමේ කුලකයට දමා අත පිස දමා ගැනීම නොවන වග පාරිභෝගිකයෝ නොදන්නා නමුත් මාධ්‍ය නම් කුමන හෝ ඉවකින් යහමින් වටහාගෙන තිබේ.

සිංහල අලුත් අවුරුදු නැකත් පෙළ තුළ ඇති සැබෑ අර්ධය ලියන කාරිය පසුවට කල් තබමි. සැබෑ ජ්‍යෙතිෂ්ශාස්ත්‍රීය සිතීම් විස්මිත අනාවැකි පමණක් ලාභය අරමුණු කර වෙන්දේසියේ දමන කිසිවකු අත බෙහෙතකටවත් නැති බව දැනගත යුත්තන් දැනගැනීම කාලෝචිත බව පෙනේ. නැකත් සීට්ටුවක ඇති සැබෑ ජීවිත මිහිර දන්නේ මොනර කොළ බලාපොරොත්තුවෙන් දිවි ගෙවන්නන් හෝ මුදලට ලොල්වී මදනගාය අරමුණුකොට මයුරා වන්නම නටන්නන් නොව මොනරියන් අරමුණුකොට සූර්යයාගේ අණට නටන කරන අහිංසක මොනරුන් පමණි. මන්ද මොනරුන් සිටින්නේ මොනර කොළ හිමි මිනිසුන්ගේ හිස මත නොව අහිංසක මිනිස් වර්ගයාගේ හදවත් තුළ නිසාය. ලෝකයේ වෙනස් වන්නේ පැවැත්ම දෙස බලන ස්වරූපය විනා පැවැත්ම විය නොහැකි බව සැබෑවකි. අහසත් පොළොවත් වෙන් කළ නොහැකි බව වැටහෙන්නේ එවිටය. එමෙන්ම අහස පොළොවට කඩා වැටෙන්නේ පැරණි හාවාගේ උපමා කතාන්දරයට අනුවය. පොළොව අහසට කඩා වැටෙන්නේ ස්වභාවයා දැනට සූත්‍රගත කර ඇති ආකාරය පරම සත්‍යයක් සේ සිතන කුලකයේ මිනිසුන්ටය. එහෙත් කඩාවැටෙන්නේ අන් කිසිවක් නොව කඩා වැටීම යන සංකල්පයමය.

ජ්‍යොතිෂය සිතීම් වඩාත්ම අවැසි වන්නේ මිනිසාගේ ආශාවන් විස්තර කර විනෝදයක් ලබාදීමටත් වඩා ලෝකය සහ ජීවිතය අවබෝධ කර ගැනීමට සහ ඉන් ඔබ්බට සිතීමට කාලය නමැති සංකල්පය විනිවිදීමටය. සූර්යයාගේ සුන්දරත්වය සහ විස්මිත බව දැකීමට සූර්යයා දෙස එක එල්ලේ පියවි ඇසින් බැලිය නොහැකි නිසාම අපි සූර්ය කේන්ද්‍රීය ගණිත සිතීම් දැකීමට මයුරා වන්නම විනිවිදිමු. සූර්යයා අධික තාප ශක්තියෙන් යුත් තාරකාවක් ලෙස දැකිය හැකි නමුත් මිනිස් හදවතට සිසිල් බවක් ද රවි හෙවත් සූර්යයා වඩන වග සූර්යවංශිකයන්ට පමණක් නොව චංද්‍ර වංශිකයන්ට ද දැනගන්නට ලැබෙන්නේ මයුරාගේ කාලසටහන සහ අභිනයනයන් වටහාගත් පසුව බව අප වටහාගත යුතුය. මිනිසා බුද්ධියෙන් දේවල් අත් පත් කර ගන්නා විට සතා සීපාවාට තවමත් ඇති ස්වභාවයේ ක්‍රියාවන් දැනී යන ස්වභාවය හෙවත් ඉව අහිමි කරගෙන තිබේ. එහෙත්, ඒ තත්ත්වයේ බරපතළකම දැන් දැන් මිනිසුන්ට අවබෝධ වන්නට පටන් ගෙන තිබේ.

ජගත් මාරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT