Home » පුරුෂාධිපත්‍යයෙන් බැටකන පිරිමි

පුරුෂාධිපත්‍යයෙන් බැටකන පිරිමි

by Gayan Abeykoon
February 26, 2025 1:50 am 0 comment

පුරුෂාධිපති ක්‍රමයට එරෙහිව සටන් වදින සමහර අය හිතන්නේ අපගේ සතුරා පිරිමියා කියා යි. එදිනෙදා සමාජයේත් පිරිමින් යනු  පීඩකයින් සහ බලය ඇත්තන් ලෙස සැළකෙනවා. සමානාත්මතාවය ඇති සමාජයක් සැදීමේදී පිරිමියා අනෙකා ලෙස සිතීමට හැකිද?

පුරුෂාධිපත්‍ය තුළ පිරිමියා ද වින්දිතයෙක් බවට ස්ත්‍රීවාදී පර්යේෂකයින් තර්ක කරනවා. කුඩා කාලයේ සිටම පිරිමියකු ලෙස ජීවත්විය යුත්තේ මේ ලෙස යැයි සමාජයෙන් නිර්ණායක පැන වෙනවා. තරහව සහ ප්‍රචණ්ඩකාරී හැඟීම් හැරුණු කොට අනිත් හැඟීම් ප්‍රකාශ කිරීම දුර්වලත්වයක් සහ පිරිමිකමට නොහොබිනා යමක් ලෙස හඳුන්වනවා. මේ නිසාම ආදරය, කරුණාව සහ සංවේදීකම වැනි දේ යටපත් කරගැනීමටත්, ඒවා පිරිමිකම පෙන්වන ප්‍රචණ්ඩත්වය, මත්ලෝලීත්වය, ලිංගික හැකියාව සහ ශාරීරික ශක්තිය වැනි මාවත්වලින් එළියට දැමීමටත්  සමහර පිරිමින් පෙළඹෙනවා.

පවුලක ප්‍රධාන සපයන්නා වීමද, පිරිමිකමේ ලක්ෂණයක් ලෙස හඳුනා ගැනෙනවා. කාන්තාවකගේ රැකියා විරහිතභාවය මෙන් නොව පිරිමියකුගේ රැකියා විරහිතභාවය සමාජ ගර්හාවට ලක්වෙන අතර එයින් පිරිමින් මානසික පීඩාවට පත්වෙනවා. ලංකාවේ කාන්තාවන් මැදපෙරදිග රැකියාවලට යෑමත් සමඟ බොහෝ පිරිමි ඉහත කී පිරිමි කම පෙන්වන මත්ලෝලීත්වය, ලිංගික සහ අනෙකුත් ප්‍රචණ්ඩත්වයන් මෙන්ම පවුල අතහැර දැමීම වැනි දේට පෙළඹෙනවා. මෙහිදී මෙම කරුණුවලට කාන්තාවන් මැදපෙරදිග යාමට දොස් තබන මුත් පිරිමින්ගේ පැත්තෙන් ඔවුන් මෙවැනි අර්බුදයකට ලක්වන්නේ ඇයිදැයි සමාජ විද්‍යා පර්යේෂකයින් නිසි අවධානයට ලක් කරන්නේ නැහැ. මිෂෙල් ගැම්බර්ඩ් විසින් කාන්තාවන් පවුලේ ප්‍රධාන සපයන්නන් වීමෙන් තමන්ගේ පිරිමිකම තර්ජනයට ලක්වීම නිසා මත්ලෝලීන් බවට පත්වෙන බවට තහවුරු කෙරෙන පර්යේෂණ කර තිබෙනවා. මා නෙලිබෑවේ කළ පර්යේෂණවලදී දක්නට ලැබුණේ  මත්ලෝලීත්වයට අමතරව ඉහත කී අනෙකුත් අර්බුදවලටද පිරිමින් මුහුණ දෙන බවයි.

මීට අමතරව ගත් විට පොදුවේ දැකිය හැකි කාරණයක් වන්නේ කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින්ගේ ආයු අනුපාතය අඩු බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2020 දත්තවලට අනුව ලංකාවේ කාන්තාවන්ගේ ආයු අනුපාතය 79.8 ක් වන අතර පිරිමින්ගේ ආයු අනුපාතය 73.8 වෙනවා.  අවුරුදු හයක පමණ පරතරයක් තිබීමට හේතු ලෙස හඳුනාගැනෙන්නේ පිරිමින් විසින් දැඩි අවදානම් සහිත රැකියා කිරීම, ප්‍රචණ්ඩ සහ කළහකාරී හැසිරීම්, අවදානම් ගැනීම සාපේක්ෂව වැඩි වීම, තමන්ට ඇති අසනීප තත්ත්වයන් හඳුනාගැනීමට හා ප්‍රතිකාර ගැනීමට පමා කිරීම , මත්පැන්, දුම්වැටි සහ මත්ද්‍රව්‍ය දැඩි භාවිතය වැඩිවීම, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත නොකිරීම, සහ මානසික ගැටලු වැනි දෑ යි.  ලෝකය පුරාම මෙන් ලංකාවේ ද පිරිමින් අතර සියදිවි නසාගැනීම් කාන්තාවන් අතරට වඩා කිහිප ගුණයකින් වැඩියි.  මීටද හේතු ලෙස පුරුෂාධිපති ක්‍රමයක් තුළ පිරිමින් මුහුණ දෙන පීඩනය සහ එය ප්‍රකාශ කිරීමට නොහැකිවීම හඳුන්වාදිය හැකියි.

මේ අනුව බලන විට පුරුෂාධිපත්‍ය සහ වෙළෙඳපළ  තුළ පිරිමියා ද වින්දිතයෙක්.  පුරුෂාධිපත්‍ය විසින් ගොඩ නැඟූ සමාජය, වෙළෙඳපළ  සහ ජීවන රටාව ඉදිරියට ගෙන යාමට පිරිමියා මෙන්ම ගැහැනියද දායක වෙනවා. වෙළෙඳපළ තුළ මුදල් හම්බ කිරීමේ තරඟයට පිරිමියාටත් වඩා හොඳින් ගැහැනිය අවතීර්ණය වී සිටිනවා.  ඒ හරහා පවුල තුළ හැදෙන පීඩනය වැනි දෑ ගැන අප කතා නොකරන තරම්.

සමහර නූතන ලිබරල් ස්ත්‍රීවාදීන් ද, පුරුෂාධිපති වෙ‍ෙළඳපළ  තුළ බලය වෙනුවෙන් සටන් වැදීම සහ කාන්තාවන් ඒ තුළ සවිබලගැන්වීම ගැන සුලභව කතා කරන අතර පිරිමි ලෝකයේ සිවිලිම් බිඳීමෙන් එහාට අප සියලු දෙනාට සුවෙන් සිටිය හැකි ක්‍රමයක් ගැන සිතන අය විරලයි.  බෙල් හූක්ස් සිය The Will to Change නම් කෘතියෙන් පෙන්වාදෙන්නේ  පිරිමි, පිරිමිකම සහ ආදරය ගැනයි.  සාමාන්‍ය ගැහැනිය  ඉල්ලන්නේ පිරිමියාගේ ආදරය බවයි. ළමුන් ඉල්ලන්නේ ද සිය පියාගේ ආදරය බවයි. පුරුෂාධිපති ක්‍රමය තුළ පිරිමින් ආදරය කිරීමට නොදන්නා පිරිසක් බවට පත් කිරීම නිසා ලෝකය පිරිමින් ආදරය මද කමෙන් පෙළෙන බවයි. පුරුෂාධිපත්‍ය වෙ‍ෙළඳපළ හා සුසංයෝගයෙන් කාන්තාවන්ද “පිරිමි” බවට එසේත් නැතිනම්  ආදරය කිරීමට නොහැකි අය බවට පෙරළෙන ආකාරය යි. ඒ  සමඟ අප ආදරය අහිමි ලෝකයක පීඩාකාරීත්වය දෙසට ඇවිද යමින් සිටියි.  එසේ නම් ආදරය පිරුණු ලොවක් හැදිය හැකි ගැහැනු මාවතක් අප සොයා ගත යුතු නොවේද?

 

✍  ආචාර්ය කෞෂල්‍යා හේරත්

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT