Home » ගුවන් හමුදා පාපැදි සවාරිය 28 දා ඇරඹේ
මිලියන 2.5ක මුදල් තෑගි බෙදා දෙන

ගුවන් හමුදා පාපැදි සවාරිය 28 දා ඇරඹේ

by sachintha
February 25, 2025 1:58 am 0 comment

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වැනි සංවත්සරයට සමාගමීව 26 වැනි වරටත් සංවිධාන කරන ගුවන් හමුදා පාපැදි සවාරිය මේ මස 28 වැනිදා සිට මාර්තු මස 2 දක්වා පැවැත්වේ. ගුවන් හමුදා පාපැදි සංගමයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙවර පාපැදි සවාරියේ අදියර 3කින් සමන්විත පිරිමි තරගයට සහ මාර්තු 2 වැනිදා පැවැත්වෙන කාන්තා තරගයට තරගකරුවෝ සහ තරගකාරිනියෝ 200කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටින අතර, ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතර බෙදා දීමට නියමිත මුදල් ත්‍යාගය රුපියල් මිලියන 2.5ක් බව ඊයේ ගුවන් හමුදා මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ගුවන් හමුදා පාපැදි සංගමයේ සභාපති එයාර් වයිස් මාෂල් ඉන්දික වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

කිලෝමීටර් 422කින් සමන්විත පිරිමි තරගයේ පළමු අදියර වීරවිල සිට හම්බන්තොට, අම්බලන්තොට, ඇඹිලිපිටිය, කහවත්ත, පැල්මඩුල්ල හරහා රත්නපුරය දක්වා පැවැත්වෙන අතර, දෙවැනි අදියර රත්නපුරය සිට කුරුවිට, ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, රුවන්වැල්ල, කෑගල්ල, පිළිමතලාව හරහා මහනුවර දක්වා සහ අවසන් අදියර මහනුවර සිට පේරාදෙණිය, කටුගස්තොට, මාවතගම, කුරුණෑගල, ගිරිඋල්ල, පන්නල, කොච්චිකඩේ, මීගමුව, ජාඇළ, වත්තල, පෑලියගොඩ හරහා කොළඹ ගාලුමුවදොර දක්වා පැවැත්වීමට නියමිතය.

ඊට සමගාමීව මාර්තු මස 2 වැනිදා කිලෝමීටර් 87කින් සමන්විත කාන්තා තරගය මීරිගම සිට ගිරිඋල්ල, පන්නල, කොච්චිකඩේ, මීගමුව, ජාඇළ, වත්තල, පෑලියගොඩ හරහා කොළඹ ගාලුමුවදොර දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ගුවන් හමුදා පාපැදි සවාරියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග බෙදාදීමේ උත්සවය මාර්තු මස 2 වැනිදා පස්වරුවේ කොළඹ ගුවන් හමුදා කඳවුරේ රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT