ලෝකයේ මහාද්වීප හතේ උසම කඳු මුදුන් තරණය කිරීම අභියෝගයක් බවට පත් කර ගත් ශ්‍රී ලාංකික කඳු නැඟීමේ ශූර යොහාන් පීරිස්, ලෝකයේ තවත් උසම කඳු මුදුන් දෙකක් තරණය කිරීමෙන් අනතුරුව ඊයේ (24) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
යොහාන් පීරිස් මෙවර ඇන්ටාටිකාවේ වින්සන්ට් කඳු මුදුන සහ දකුණු අමෙරිකාවේ, ආජෙන්ටිනාවේ ඇකන්කගුවා කඳු මුදුන තරණය කිරීමෙන් අනතුරුව මෙසේ යළිත් මෙරටට පැමිණ තිබුණි.
ඒ අනුව මේ වනවිට ආසියා මහාද්වීපයේ එවරස්ට්, අප්‍රිකා මහාද්වීපයේ කිලිමැන්ජාරෝ, ඔස්ට්‍රේලියා මහාද්වීපයේ කොසිඩස්කෝ, යුරෝපා මහාද්වීපයේ එල්බ්‍රෙස්, ඇන්ටාටිකා මහාද්වීපයේ වින්සන්ට් සහ දකුණු අමෙරිකාවේ ඇකන්කගුවා යන කඳු සාර්ථකව තරණය කිරීමට යොහාන් පීරිස් සමත් වී තිබේ.
තමාට තවත් ඉතිරි වී පවතින්නේ ඇලෙස්කා මහාද්වීපයේ ඩිනාලී කඳු මුදුන තරණය කිරීමට බවත්, තමන් ඒ සඳහා එළඹෙන මැයි මාසයේ මෙරටින් පිටත්ව යන බවත්, කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි යොහාන් පීරිස් සඳහන් කළේය.
ලෝකයේ මේ වන විට මේ ආකාරයට ලොව උසම කඳු මුදුන් 07 ම තරණය කළ පුද්ගලයන් 400ක් සිටින බව ද යොහාන් පීරිස් සඳහන් කළේය.
යොහාන් පීරිස් ඊයේ (24) අලුයම 02.20ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔහු පිළිගැනීමට ඔහුගේ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
කටුනායක – ටී.කේ.ජී.කපිල