Home » ප්‍රධාන පෙළේ සබන් නිෂ්පාදන ආයතනයකින් කෝටි එකහමාරක සබන් අරන් පලා ගිහින්

ප්‍රධාන පෙළේ සබන් නිෂ්පාදන ආයතනයකින් කෝටි එකහමාරක සබන් අරන් පලා ගිහින්

-ලොරි රියැදුරු බඩුත් එක්ක මාට්ටු

by sachintha
February 25, 2025 1:11 am 0 comment

කඳාන ප්‍රදේශයේ සබන් වර්ග නිෂ්පාදනය කරන ප්‍රධාන පෙළේ පුද්ගලික ආයතනයකින් රුපියල් එක්කෝටි තිස්තුන්ලක්ෂයක් පමණ වටිනා සබන් වර්ග ඇතුළු නිෂ්පාදන රැගෙන පලා ගිය ලොරි රථය සමඟ එහි හිමිකරු කිරිබත්ගොඩ පොලීසිය මඟින් ඉකුත් 22දා අත්අඩංගුවට ගනු ලැබීය. මෙම ලොරි රථ හිමිකරු අත්අඩංගුවට පත් අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 4,000ක් ද පොලිස් භාරයට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගත් එම ලොරි රථය පැදවූ හිමිකරු පෙරේදා (23) මහර වැඩබලන මහේස්ත්‍රාත් විරේන්දා කනංකෙගේ මහත්මිය වෙත ඉදිරිපත් කොට ඊයේ (24) දක්වා රැඳවුම් නියෝග ලබාගෙන තිබූ අතර එම රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කර ගැනීමට පොලීසිය කටයුතු කරගෙන යයි. මෙසේ රැඳවුම් නියෝග ලැබී තිබුණේ දඹදෙණිය, ඉහළ කටුගම්පල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයකුට ය. මේ සිද්ධිය සම්බන්ධව මීට ඉහත එම සබන් ළඟ තබා ගැනීම හා ඒවා අලෙවි කිරීමට අනුබල දීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් අනුරාධපුරය හා කහතුඩුව යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් තිදෙනකු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇප මත මුදාහැරිණි.

ඉකුත් 14 වැනිදා කැලණිය, නුංගම්ගොඩ ප්‍රදේශයේ තිබෙන එම සබන් වර්ග නිෂ්පාදන භාණ්ඩ බෙදාහැරීමේ හා අලෙවි කිරීමේ නියෝජිත ආයතනය විසින් එම සබන් වර්ග රැගෙන ඒම සඳහා යවන ලද මෙම ලොරි රථය නැවත නියෝජිත ආයතනයට නොපැමිණීම ගැන විමසීමේදී, එම ලොරි රථය සබන් නිෂ්පාදන භාණ්ඩ රැගෙන පැමිණ තිබෙන බවට දැන ගැනීමට ලැබී ඇත. සබන් රැගෙන එන අතරමගදී ලොරි රථයේ හිමිකරු එහි රියැදුරා හා සහායකයා බස්සවා සබන් සමඟ ලොරි රථය හිමිකරු විසින්ම පදවාගෙන පලාගොස් තිබිණි. සැකකරුගෙන් ලබාගත් ප්‍රකාශ මත සබන් සමඟ එම ලොරි රථය ඉබ්බාගමුව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇත. මේ ලොරි රථය සොයා ගන්නා විට එහි හැඩරුව පවා වෙනස් කර තිබූ අතර එම හිමිකරු මීට ඉහත මේ ආකාරයට මෙවැනි අපරාධ සිදු කර තිබෙන බව ද අනාවරණය වී තිබේ.

කිරිබත්ගොඩ පොලීසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඒ. ප්‍රියන්ත මහතාගේ උපදෙස් අනුව එහි අපරාධ මර්දන විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. රෝහණ නන්දසිරි, පො.සැ. සිසිර (2725) හා සේනාධීර (9087) පො. කොස්තාපල්වරුන් වන පත්මසිරි (79778), ලක්මාල් (82436), නන්දසිරි (93652), යොහාන් (99918) හා කා.පො.කො. නිලූකා (8412) යන නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායමක් වැටලීමට එක්වූ අතර එහි නඩු මෙහෙයුම් අංශයේ පො. කොස්තාපල්වරුන් වන රත්නායක (90071) හා කුලසිංහ (10789) යන නිලධාරීහු සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රැඳවුම් නියෝග ලබාගත්හ.

කැලණිය – කේ.එස්. හැන්නදි

මල්වාන සමූහ මහානාම විතානගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT