Home » ඉබ්බාගමුව සතිපොළ පදික වේදිකාවට ඇවිත්

ඉබ්බාගමුව සතිපොළ පදික වේදිකාවට ඇවිත්

-ගොඩනැඟිලි දෙකක් ඉදිකළත් තවම ප්‍රයෝජනයට අරන් නෑ

by sachintha
February 25, 2025 1:58 am 0 comment

හිරියාල ආසනයේ කුරුණෑගල – දඹුල්ල මාර්ගයෙහි පිහිටි ප්‍රධාන උප නගරයක් වන ඉබ්බාගමුව නගරය මධ්‍යයේ පැවැත්වෙන සතිපොළ හේතුවෙන් නගරයට පැමිණෙන ජනතාව ඇතුළු විශාල පිරිසක් මහත් අපහසුතාවට පත්ව සිටිති.

මෙකී සතිපොළ ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව මඟින් පාලනය කෙරෙන අතර සතියේ සඳුදා සහ බ්‍රහස්පතින්දා දින දෙකෙහිම පැවැත්වේ. පොළට පැමිණෙන වෙළෙඳුන්ගේ සංඛ්‍යාව දෙසීයකට ආසන්නය.

කුරුණෑගල – දඹුල්ල මාර්ගය පුළුල් කිරීම යටතේ ඉබ්බාගමුව නගරයද සංවර්ධනය කෙරුණු අතර එහිදී දැනට සතිපොළ පැවැත්වෙන භූමියෙන් කොටසක්ද කඩා දැමුණි. ඒ මාර්ගය පුළුල් කිරීම සඳහාය. එම නිසා සතිපොළෙහි ඉඩකඩ මඳ වීමත් පාරිභෝගිකයන්ට එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පොළෙහි එහා මෙහා යාමත් අතිශයින් දුෂ්කර වී තිබේ. සතිපොළට දෙතුන් දහසක් පමණ පාරිභෝගිකයන් පිරිසක් පැමිණෙන අතර පොළ භූමියෙහි දක්නට ඇත්තේ විශාල තදබදයකි.

එසේම පොළ ඇතුළත ප්‍රමාණවත් තරම් ඉඩකඩ නොමැතිකම නිසා වෙළෙඳුන් 20 කට වැඩි පිරිසක් තම වෙළෙඳාම් කටයුතු කරන්නේ පදික වේදිකාව අවහිරකරමින්ය. මේ නිසා පාරිභෝගිකයන්ට මෙන්ම මගී ජනතාවට ද යාමට ඒමට සිදුව ඇත්තේ ප්‍රධාන මාර්ගයේ වන අතර එය තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් යැයි ඔවුහු කියා සිටිති.

සතිපොළෙහි ඇති වී තිබෙන ගැටලු නිරාකරණය කර පොළ ඊට නුදුරු නව ස්ථානයකට රැගෙන යාම සඳහා 2014 වසරේදී නව සතිපොළ ගොඩනැඟිලි දෙකක් ඉදිකර තිබූ අතර දැන් එහි ඉදිකිරීම් කටයුතු අවසන් කොට තිබෙන නිසා තමන්ට සහනයක් සලසා දෙන්නැයි ජනතාව වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති. මේ වන විට නව ගොඩනැඟිලිද කැලයට යටවෙමින් පවතී.

සතිපොළෙහි වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ පාරිභෝගිකයකු වන ආර්.එම්. කරුණාරත්න මහතා මෙසේ කීය.

‘‘මේ සතිපොළ වැසි කාලයට නම් මඩ වගුරක්. පොළට ඉහළින් තිබෙන කන්දෙන් ඇද හැලෙන වතුර පාර කෙළින්ම එන්නේ පොළ භූමියටයි. පොළ ඇතුළත ඉඩ නැහැ. තදබදය වැඩියි. නැමිලා එළවළු තෝරන විට තව දෙතුන් දෙනෙක් කොන්ද උඩ. පොළ ඉදිරිපිට පදික වේදිකාවේ වෙළෙඳාම් කරනවා. පාරිභෝගිකයන්ටත් මගීන්ටත් යන්න එන්න තැනක් නැහැ. පොළ ඉදිරිපිට වාහන නතර කිරීම තහනම් කියලා බෝඩ් දෙකක් ගහලා තිබෙනවා. ඒ වුණාට වාහන නවත්තලා තිබෙනවා. මේ නිසා මහ පාරේ වාහන දෙකක් මාරු කරන්න බැහැ. එවිට වාහන තදබදය අධිකයි.

බැරිවෙලාවත් පදිකවේදිකාව පැත්තට වාහනයක් කැපුණොත් පාරිභෝගිකයොයි වෙළෙන්දොයි දෙගොල්ලම පරලොව. දැනට පොළ හදා තිබෙන ස්ථානය ඉතාම හොඳයි. ඒකේ වැඩ අවසන් නිසා අපි දෙගොල්ලටම සහනයක් සලසනවානම් හොඳයි.

‘‘අපි ආසාවට නොවෙයි පදික වේදිකාවේ වෙළෙඳාම් කරන්නේ. වෙනත් ස්ථානයක් නොමැතිකම නිසයි. පායන කාලෙට නම් කොහොමහරි වෙළෙඳාම් කරන්න පුළුවන්. වැසි දිනවලට අකුළාගෙන නිකම් ඉන්න සිද්ධ වෙනවා.

පොළ කාසි ගෙව්වාට අපි විඳින දුක දන්නේ අපි විතරමයි. අලුත් සතිපොළේ ඉදිකිරීම් අවසන් නිසා එතනට පොළ අරන් ගියාම කාටත් පහසුවක් වෙයි. නමුත් ඒක තවමත් පරක්කුයි. වෙළෙඳුන් පිරිසක් එසේ පැවැසූහ.

ඉබ්බාගමුව විශේෂ චන්ද්‍රතිලක රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT