Home » පූජිත්ට හේමසිරිට එරෙහි නඩුවේ කාර්ය සටහන් 27දාට පෙර ඉදිරිපත් කරන්න නියෝග
පාස්කු බෝම්බ ප්‍රහාරය වළක්වා නොගැනීම

පූජිත්ට හේමසිරිට එරෙහි නඩුවේ කාර්ය සටහන් 27දාට පෙර ඉදිරිපත් කරන්න නියෝග

by sachintha
February 25, 2025 12:50 am 0 comment

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව පවරා තිබුණු අපරාධ නඩුවේ කාර්ය සටහන් මෙම මස 27දාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රෙජිස්ට්‍රාර්වරියට කොළඹ විශේෂ මහාධිකරණය නියෝග කළේය.

ආචාර්ය නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳි මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ ඊයේ (24දා) නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලදි.

විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අශෝක වීරසූරිය මහතා අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් සිය සේවාදායකයා අසනීපව සිටින බැවින් නඩුවට ඉදිරිපත් නොවන බව සහ ඒ වෙනුවෙන් ඇපකරුවන් පෙනී සිටින බව දන්වා සිටියේය. එම කරුණු සලකා බැලූ සභාපති විනිසුරු ආචාර්ය නාමල් බලල්ලේ මහතා මීළඟ නඩු දිනයේදී වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

පසුගිය නඩු වාරවල කාර්ය සටහන් පැමිණිල්ලට ලැබී නොමැති බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේය. ඒ අනුව අදාළ සටහන් ලැබීමෙන් පසු අප්‍රේල් 3දා නඩුව කැඳවීමට නියම විය.

අවසන් වරට නඩුව කැඳවූ පසුගිය 28දා විත්තියේ සාක්ෂි විභාගය වෙනත් විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට යොමු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම ඉල්ලීම අගවිනිසුරුවරයාට යොමු කරන ලෙස නීතිපතිවරයාට දන්වා සිටියේය. මේ සම්බන්ධයෙන් තීතිපතිවරයාගේ ස්ථාවරය ඊයේ (24දා) දැන්වීමට නියමිතව තිබිණ. මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂදීන් මහතා නඩු විභාගයට පැමිණ නොසිටි බැවින් සෙසු විනිසුරුවරු ඉදිරියේ නඩුව කැඳවිණි.

බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රාජකාරි වගකීම පැහැර හැරීම ඇතුළු අධිචෝදනා 855ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව නඩු පවරන ලදි.

පැමිණිල්ලේ සාක්ෂි විභාගයෙන් අනතුරුව විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතා සලකා බලා චුදිතයන් නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය 2022 වසරේ පෙබරවාරි 18දා නියෝග කළේය. අනතුරුව නීතිපතිවරයා එම තීන්දුව අභියෝගයට ලක් කරමින් අභියාචනයක් ඉදිරිපත් කරන ලදි. එම ඉල්ලීම සලකා බැලීමෙන් පසු සාමාජික විනිසුරු මහින්ද සමයවර්ධන මහතාගේ එකඟතාව අනුව ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර, කුමුදිනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල මහාධිකරණ තීන්දුව බල රහිත කළේය. ඒ අනුව විත්තියේ සාක්ෂි විමසීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට නියම විය.

පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා යන මහත්වරු පෙනී සිටියහ. විත්තිකාර පූජිත් ජයසුන්දර වෙනුවෙන් රොෂාන් දෙහිවල, ප්‍රියන්ත ගුණසිංහ, දුලාන් මිරිහාන යන නීතිඥ මහත්වරු පෙනී සිටියහ. හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පසන් කරුණාරත්න, ආකර්ෂා වීරසූරිය, කිත්සිරි ලියනගේ යන නීතිඥවරු සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ අශෝක වීරසූරිය පෙනී සිටියහ. ලබන අප්‍රේල් 3දා නඩුව යළි කැඳවීමට නියමිතය.

චන්දන ජයවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT