කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා සිදු කළ ඝාතනයට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙකු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇති බව කොටහේන පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය හමුවේ ඊයේ (24) දැන්වීය.
කොටහේන පොලීසිය විසින් කොළඹ 15, මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචි පසිඳු විරාජ් නමැති මෙම සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙලෙස දැනුම් දෙනු ලැබීය. කොටහේන පොලීසියේ උප පොලිස් පරීක්ෂක අරවින්ද මහතා අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේ, සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.
මෙම සැකකරු විසින් කොටහේන වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුව කොළඹ කොටුව ප්‍රදේශයේ සිට ඔහුගේ ත්‍රිරෝද රථයෙන් කොස්ගස් හන්දිය ප්‍රදේශයේ පිහිටි සිය බිරියගේ නිෙවසට කැඳවාගෙන විත් අපරාධය සඳහා ගිනිඅවිය සහ පතරොම් ලබා දී ඇති බවට විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැක්වූහ.
පසුගිය 21 දා කොටහේන ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් තවත් අයකුට වෙඩි තබා ඝාතනය කර තිබූ අතර, පසුව අදාළ වැඩි තැබීම සිදු කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැඟවූ ආයුධ පෙන්වීමට යෑමේදී ඇති වූ සිදුවීමක් මත පොලිස් වෙඩි පහරින් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය පරීක්ෂණවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන ලෙස විමර්ශන නිලධාරින්ට නියෝග කළාය.
කල්පනි අබේසිංහ