ලබන වසරේ සිට (2026) සිට බලපැවැත්වෙන පරිදි සිංහල – හින්දු අලුත් අවුරුදු නැකැත් සම්පාදනයට නව වැඩපිළිවෙළක් සහිත මාර්ගෝපදේශන සංග්‍රහයක් සකස් කිරීමට පියවර ගැනේ.
ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ඊයේ (24) සංස්කෘතික අමාත්‍යාංශයේදී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නව සිංහල අවුරුදු නැකැත් කමිටුවක් 2026 වසරට සැකසෙන නිසා අදාළ යෝජනාවලීන්, අවුරුදු නැකැත්කරණය පිළිබඳව නිසි සැලැස්මක් සහිත මාර්ගෝපදේශන සංග්‍රහයක් එළිදැක්වීම, ජාතික වශයෙන් සූර්ය මංගල්‍යයක් පැවැත්වීමේ වැදගත්කම යනාදී කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
මහජන දින හමුවීම් අතර ඇමැතිවරයා ජ්‍යොතිෂ ක්ෂේත්‍රයේ නියැළී සිටින පිරිස හමු වූ අතර ඔවුන් සිංහල හින්දු අලුත් අවුරුදු නැකැත් සකස් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන ලදි. සිය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වර්ධනය සඳහා ද අමාත්‍යාංශයේ මැදිහත්වීම ඉල්ලා සිටි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ 2025 වසරට අදාළ සිංහල හින්දු අලුත් අවුරුදු නැකැත් සියල්ල මේ වන විට ජනගත වී තිබෙන හෙයින් එහි වෙනස්කම් සිදු කිරීම සඳහා කිසිදු බලපෑමක් නොකරන බවයි.
එහෙත් 2026 වසරේ සිට විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ සිංහල – හින්දු අලුත් අවුරුදු නැකත් සම්පාදනයටත්, ජ්‍යොතිෂ ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ඍජු මැදිහත්වීම අවශ්‍ය බව ඔවුන් අවධාරණය කළේය.
ඒ අනුව ජ්‍යොතිෂ ක්ෂේත්‍රයේ නියැළී සිටින සියලු දෙනාට සිය යෝජනා ඉදිරිපත් කිරීමටත්, අමාත්‍යාංශයේ මැදිහත්වීම මත ඔවුන්ට එක් දිනකදී රැස්වීමකට සහභාගි වීමටත් අවශ්‍ය වැඩපිළිවෙළක් සම්පාදනය කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.
මෙම සාකච්ඡාවට එක් වූ ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමයේ ජාතික සංවිධායක රවිශංඛ සේනානායක මහතා මෙසේද කීය.
කාලාන්තරයක් තිස්සේ අත්තනෝමතික ක්‍රමවේදයකට ක්‍රියාත්මක වූ සිංහල අවුරුදු නැකැත් කමිටුව, ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමයේ සහ ජ්‍යොතිෂ්ශාස්ත්‍රය නිවැරදිව භාවිත කරන අයගේ මැදිහත්වීම් සහ පෙන්වාදීම් මත මේ වනවිට විසුරුවා තිබේ. මෙවර ලිත් කතුවරු කිහිපදෙනෙක් හරහා සීට්ටුවක්ද එළිදක්වා තිබෙනවා. පහුගිය කාලය පුරාම අවුරුදු නැකැත් සීට්ටු සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ගැටලු සහිත තත්වයක් ඇති වුණා. නොනගතය ඇතුළේ නැකැත් හැදීම ගැන කාලාන්තරයක් තිස්සේ ගැටලුවක් තියෙනවා. පසුගිය අවුරුද්ද තුළ මධ්‍යම රාත්‍රියේ නැකැත් කමිටුව නැකැත් දී තිබුණා. ඉදිරි කාලයේදී අවුරුදු නැකැත් සම්බන්ධව ගන්නා තීරණ මොනවාද යන්න සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණා. අවුරුදු නැකැත්කරණය පිළිබඳව නිසි සැලැස්මක් සහිත මාර්ගෝපදේශන සංග්‍රහයක් වෙනුවෙන් අපේ යෝජනා අපි ලබා දුන්නා. මින් ඉදිරියට රටට ගැටලුවක් නොවෙන නැකැත් කමිටුවක් සකස් කරයි කියන විශ්වාසය අපට තිබෙනවා.
ඉදිරයේදී ගැටලුවකින් තොරව අවුරුදු නැකැත් සැමරීමට මහජනතාවට අවස්ථාව සැලසීම අපේ අරමුණයි. පසුගිය කාලය පුරාවට තෙල් වළං ළිප තැබීම, රෝපණ නැකැත් වගේ මඟහැරුණ සමහර නැකැත් තිබුණා. ආහාර අනුභවය, වැඩ ඇල්ලීම ගනුදෙනු ආදී නැකැත් අද එක් නැකතක් ලෙස සැලකුවත් ඉතිහාසයේ වෙනස් නැකැත් ලෙසයි තිබුණේ. දැන් පැරණි සංස්කෘතිය නැවත ඉස්මතු කරලා ගන්න පුළුවන්.
නෙරංජලා වික්‍රමසිංහ