Home » අධිකරණ නියෝග නැතිව ගණේමුල්ල සංජීව රැගෙන ආවේ අැයි කියලා මහේස්ත්‍රාත්වරිය විමසුවා

අධිකරණ නියෝග නැතිව ගණේමුල්ල සංජීව රැගෙන ආවේ අැයි කියලා මහේස්ත්‍රාත්වරිය විමසුවා

by sachintha
February 25, 2025 12:36 am 0 comment

පිළිතුරු දීමට බන්ධනාගාර නිලධාරියා ඉදිරියට පැමිණියා: එකපාරටම වෙඩි ශබ්ද තුන හතරක් ඇසුණා

මරණ පරීක්ෂණයේදී කෙසෙල්වත්ත පොලීසියේ පොලිස් කොස්තාපල් හේවාවිතාරණගේ තරංග සාක්ෂි දෙමින් කියයි

 

“ සැකකාර ගණේමුල්ල සංජීවගෙන් මහේස්ත්‍රාත්වරිය විමසුවා නඩුවට ඇප තිබ්බද කියලා. ඒ වෙලාවේ ගණේමුල්ල සංජීව සඳහන් කළා ඇප තියන්නේ නැහැ කියලා. ඒ අවස්ථාවේදී මහේස්ත්‍රාත්තුමිය බන්ධනාගාර නිලධාරියාගෙන් ප්‍රශ්න කළා අධිකරණ නියෝග නැතුව ඇයි මේ සැකකරු රැගෙන ආවේ කියලා. ඊට පිළිතුරු දීම සඳහා බන්ධනාගාර නිලධාරියා ඉදිරියට පැමිණියා. ඔහුට නවය කියන වචනය පමණයි කියන්නට ලැබුණේ. එකපාරටම වෙඩි ශබ්ද තුන හතරක් ඇසුණා. ඇතුළේ සිටි පිරිස කෑ ගහන්න පටන් ගත්තා. නීතිඥ ඇඳුමින් සැරසී සිටි පුද්ගලයෙක් විත්ති කූඩුව පැත්තට හැරිලා යමක් කරනව දැක්කා. ඒ සමඟ තමයි වෙඩි ශබ්ද ආවේ. මම ඒ පුද්ගලයාගේ මුහුණ දැක්කේ නෑ. නිල් පාට ටයි පටියක් පැලඳ සිටියා. ඒ පුද්ගලයා දොර ඇරගෙන පිටට පැන ගියා”

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 05 ශාලාවේ දී සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැවති මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් කෙසෙල්වත්ත පොලීසියේ සේවයේ නිරත කොස්තාපල් හේවාවිතාරණගේ තරංග මහතා ඊයේ (24) සඳහන් කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ මරණ පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවිය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සැරයන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂිකරුවන් සිවු දෙනෙකු අධිකරණය තුළ සාක්ෂි ලබා දුන්හ.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අංක පහ අධිකරණ ශාලාව තුළ සේවයේ නියුතුව සිටි කෙසෙල්වත්ත පොලීසියේ පොලිස් කොස්තාපල් හේවාපතිරණගේ තරංග මහතා මෙහිදී වැඩිදුරටත් සාක්ෂි දෙමින් මෙසේ ද පැවසීය.

‘එදින යෙදිලා තිබුණේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කිරීමයි. පෙරවරු 9.40ට පමණ අධිකරණ ශාලාවේ වසා දමා තිබූ දොර විවෘත කරමින් බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු සැකකරුවකු විවෘත අධිකරණය තුළට රැගෙන ආවා. එක් බන්ධනාගාර නිලධාරියකු මා අසලට පැමිණ කිව්වා ගණේමුල්ල සංජීව අරන් ආවා කියලා. මම සැකකරුව සිරමැදිරියට දාන්න කිව්වා. ඒ වෙලාවේ බන්ධනාගාර නිලධාරියා කිව්වා එම සැකකරුට හතුරෝ ඉන්න නිසා කූඩුවේ දාන්න බෑ කියලා. පස්සේ බංකුවේ වාඩි කරන්න කිව්වා. මහේස්ත්‍රාත්වරිය විමසුවොත් ඔබතුමාලම හේතු පැහැදිලි කරන්න කියලත් මම බන්ධනාගාර නිලධාරියාට පැවසුවා.

නඩු තිහක් පමණ ස්කයිප් තාක්ෂණය ඔස්සේ ගත්තාට පසුව ස්කයිප් සම්බන්ධතාවය බිඳ වැටුණා. පසුව ගණේමුල්ල සංජීවගේ නඩුව කැඳෙව්වා. විත්තිකරු විත්ති කූඩුවට ඉදිරිපත් කළා.

ඒ වෙලාවේ මහේස්ත්‍රාත්තුමිය සැකකාර ගණේමුල්ල සංජීවගෙන් විමසුවා නඩුවට ඇප තිබ්බද කියලා. ඒ වෙලාවේ ගණේමුල්ල සංජීව සඳහන් කළා ඇප තියන්නේ නැහැ කියලා. ඒ අවස්ථාවේදී මහේස්ත්‍රාත්තුමිය බන්ධනාගාර නිලධාරියාගෙන් ප්‍රශ්න කළා අධිකරණ නියෝග නැතුව ඇයි මේ සැකකරු රැගෙන ආවේ කියලා. ඊට පිළිතුරු දීම සඳහා බන්ධනාගාර නිලධාරියා ඉදිරියට පැමිණියා. ඔහුට නවය කියන වචනය පමණයි කියන්නට ලැබුණේ. එකපාරටම වෙඩි ශබ්ද තුන හතරක් ඇසුණා. ඇතුළේ සිටි පිරිස කෑ ගහන්න පටන් ගත්තා. නීතිඥ ඇඳුමින් සැරසී සිටි පුද්ගලයෙක් විත්ති කූඩුව පැත්තට හැරිලා යමක් කරනව දැක්කා. ඒ සමඟ තමයි වෙඩි ශබ්ද ආවේ. මම ඒ පුද්ගලයාගේ මුහුණ දැක්කේ නෑ. නිල් පාට ටයි පටියක් පැලඳ සිටියා. පසුව ඒ පුද්ගලයා දොර ඇරගෙන පිටට පැන ගියා. අතේ මොකුත් තිබ්බේ නෑ. මම විනිසුරු ආසනය දෙස බැලුවා. අපි විනිසුරුතුමිය ආරක්ෂිතව නිල මැදිරියට රැගෙන ගියා. ඇය කම්පනයකට පත්වී සිටියා. වෙඩි ප්‍රහාරයට ලක් වූ සැකකාර ගණේමුල්ල සංජීව විත්ති කූඩුවේ උඩුබැලි අතට වැටී සිටියා.’

කොළඹ අලුත්කඩේ අංක පහ අධිකරණයේ උසාවි ලිපිකාරියක වන ඉසුරු ප්‍රාර්ථනා ප්‍රේමරත්න මහත්මිය සාක්ෂි ලබා දුන්නාය. එහිදී ඇය මෙසේ පැවසුවාය.

“පෙරවරු 8.30 ට පමණ තමා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 05 ශාලාව තුළට පැමිණියේ. එදා බන්ධනාගාර සිරකරුවන්ගේ නඩු ගන්න දවසක්, ස්කයිප් තාක්ෂණය හරහා තමයි නඩු කටයුතු ගැනීමට තිබුණේ, මහේස්ත්‍රාත්තුමිය ස්කයිප් තාක්ෂණය හරහා නඩු 30ක් පමණ ගත්තා, ඇති වූ තාක්ෂණික දෝෂ නිසා ස්කයිප් පද්ධතිය අක්‍රිය වුණා, ඉන් පසුව තමයි ගණේමුල්ල සංජීවගේ නඩුව ගත්තේ, නඩුවට ඔහුගේ නම කතා කිරීමෙන් පසු විත්ති කූඩුවට නැග්ගා. ඔහුගේ පළමු නඩුව කතා කිරීමේදී පළමු නඩුවට ඇප අවශ්‍ය දැයි මහේස්ත්‍රාත්වරිය විමසූ විට ඔහු ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඔහුගේ දෙවෙනි නඩුව ගැනීමේදී අධිකරණ නියෝගයක් නොමැතිව කුමන හේතුවක් මත සැකකරු අධිකරණයට රැගෙන ආවාද යන්න මහේස්ත්‍රාත්වරිය ප්‍රශ්න කළා, එයට පිළිතුරු ලබා දීමට බන්ධනාගාර නිලධාරියා උසාවිය ඉදිරියට පැමිණි අවස්ථාවේදී අංක නවය අධිකරණයේ නඩුවකට යැයි පවසන විටදීම රතිඤ්ඤා පත්තු කරනවා වගේ වෙඩි සද්දයක් ඇහුණා, මම වෙඩි තියනවා ඇස් දෙකෙන්ම දැක්කා, මට බය හිතුණු හින්දා සාක්ෂි කූඩුවයි මගේ මේසයයි අතර මම වාඩි වුණා.’

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල් අනුර විජේසිරි මහතා සාක්ෂි දෙමින් එහිදී මෙසේ පැවසුවේය.

“ එදා පෙරවරු 9.15ට පමණ මම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 05 ශාලාව තුළට පැමිණියා. පෙරවරු 9.30ට පමණ අධිකරණ කටයුතු ආරම්භ වුණා. එදින ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩු විමසීම යෙදී තිබූ නිසා අධිකරණ ශාලාව තුළ සිටි සිවිල් පුද්ගලයන් ඉන් ඉවත් කළා. අධිකරණ කාර්යමණ්ඩලය, බන්ධනාගාර නිලධාරින්, පොලිස් නිලධාරින් හා නීතිඥවරු අධිකරණය තුළ රැඳී සිටියා. පෙරවරු 9.45ට පමණ බන්ධනාගාර නිලධාරින් විසින් සැකකරුවකු අධිකරණය තුළට අරන් ආවා. පසුව ඔහුව බන්ධනාගාර සිර මැදිරිය අසල බංකුවක වාඩි කළා. පසුව ඔහුගේ නඩුව කැ‍ෙඳව්වා. පසුව නීතිඥ මහත්තයෙක් වගේ හිටපු කෙනෙක් විත්ති කූඩුවේ සිටි සැකකරු වෙත වෙඩි ප්‍රහාර එල්ල කළා. වෙඩි තැබීම් පහක් පමණ සිදු කළා. ලෝයර් කෙනෙක් වෙඩි තිබ්බා කියලා උසාවිය ඇතුළේ හිටපු කට්ටිය කෑ ගහන්න පටන් ගත්තා. පසුව වෙඩි තැබූ පුද්ගලයා දොර ඇරගෙන පලා ගියා. ඒ වෙලාවේ එස්.ටී.එෆ්. නිලධාරීන් ආවා. සිවිල් පුද්ගලයෝ පඩිපෙළේ වැටී සිටියා. එස්.ටී.එෆ්. නිලධාරීන් පඩිපෙළේ ඉන්නවා දැක්කා. පසුව විත්ති කූඩුව අසල රිවෝල්වරයක් වැනි ගිනිඅවියක් තිබෙනවා මම දැක්කා.Ó

මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී අධිකරණ ශාලාව තුළ රැඳී සිටි නීතිඥ ප්‍රියන්ත පුෂ්පකුමාර සමරනායක මහතා සාක්ෂි දෙමින් මෙසේ සඳහන් කළේය.

‘ එදා පෙරවරු 8.30ට පමණ අධිකරණ ශාලාව තුළට මම පැමිණියා. පෙරවරු 9.30ට පමණ නඩු කටයුතු ආරම්භ වුණා. ඒ අවස්ථාවේදී උස පුද්ගලයෙකු ෆයිල් කවරයකින් මුහුණ වසාගෙන අධිකරණ ශාලාව තුළට පැමිණියා. ඔහුගේ ඇස් විතරයි මම දැක්කේ. මම මේ පුද්ගලයා නීතිඥවරයෙක් කියලා හිතුවේ නෑ. මම හිතුවා මේ පුද්ගලයා සී.අයි.ඩී. එකේ හෝ නාකොටික් එකේ ඔෆිසර් කෙනෙක් කියලා. පසුව ගණේමුල්ල සංජීවගේ නඩුවක් කැඳෙව්වා. බන්ධනාගාර නිලධාරින් විසින් සැකකරුව විත්ති කූඩුවට ඉදිරිපත් කළා. මහේස්ත්‍රාත්තුමිය ඇහුවා සැකකරුගෙන් ඇප තියනව ද කියල. ඔහු කිව්වා ඇප තියන්නේ නැහැ කියලා. පසුව මහේස්ත්‍රාත්තුමිය බන්ධනාගාර නිලධාරින්ගෙන් විමසුවා අධිකරණ නියෝග නැතුව ඇයි අරන් ආවේ කියලා. ඊට බන්ධනාගාර නිලධාරින් යමක් ප්‍රකාශ කළා. ඒ සමඟම අර උස පුද්ගලයා පිටිපස්සෙන් යමක් අරගෙන සංජීව දෙසට එල්ල කළා. ඒ සමඟම වෙඩි සද්ද ආවා. වෙඩි සද්ද පහක් පමණ ඇසුණා. පසුව ඒ පුද්ගලයා පිස්තෝලය බිම දමා දොර ඇරගෙන පිටව ගියා. පසුව රුක්ෂාන් කියන නිලධාරියා ‘ලෝයර් කෙනෙක් වෙඩි තිබ්බා’ කියලා කෑ ගැහුවා. කට්ටිය කෑගහන්න පටන් ගත්තා. සංජීව කූඩුවේ වැටිලා හිටියා මම දැක්කා.”

සාක්ෂිකරුවන් සිවු දෙනාගේ සාක්ෂි විමසීමෙන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 27 වන දා දක්වා කල් තැබීණි.

කල්පනි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT