එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි නිත්‍ය සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්වේ.
ඊයේ (24) ආරම්භ වූ මෙම සැසිවාරය එළඹෙන අප්‍රේල් මස 4 වැනි දා තෙක් පැවැත්වෙන අතර සාමාජික රටවල මානව හිමිකම් තත්ත්වය සහ එය ප්‍රවර්ධනය වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙවර මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා ඇතුළු නියෝජත කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමට නියමිතව තිබෙන අතර ඇමැතිවරයා ඇතුළු නියෝජිත කණ්ඩායම සමුළුව අතරතුර අනෙකුත් රටවල රාජ්‍යතාන්ත්‍රිකයන් සමඟ සාකච්ඡා කිරීමට ද නියමිත බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
පසුගිය සැසිවාරය සඳහා ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට විරෝධය පළකිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන අතර පසුගිය 2024 වසරේ ඔක්තෝබර් මස 07 වැනි දා පැවති ඇමැති මණ්ඩල රැස්වීමේ දී ඒ සඳහා අනුමැතිය ද හිමිව තිබේ.
පසුගිය වසරේ සැප්තැම්බර් මස 09 වැනි දා සිට ඔක්තෝබර් මාසයේ 11 වැනි දා තෙක් ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයට අදාළව විදේශ කටයුතු ඇමැතිවරයා ඉදිරිපත් කළ කරුණු ඇමැති මණ්ඩලය සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය ඉදිරිපත් කිරීම සඳහා මෙලෙස ඇමැති මණ්ඩලයේ එකඟතාව ලබා දී ඇත.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසියේ දී යෝජිත යෝජනා කෙටුම්පත ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව සහ මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවට ශ්‍රී ලංකාව දිගින් දිගටම විරුද්ධ වන අතරම බාහිර සාක්ෂි එකතු කිරීමේ යන්ත්‍රණයේ බලතල දීර්ඝ කරන කිසිදු යෝජනාවකට එකඟ නොවන බව, එම යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබුව ද, දේශීය ක්‍රියාවලින් තුළින් සංහිඳියාව ඇතුළු ප්‍රධාන මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව තරයේ අදිටන් කොට ඇති බව සහ ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලය සහ නිත්‍ය මානව හිමිකම් යන්ත්‍රණයන් සමඟ සහයෝගිතාවයෙන් සහ අර්ථකාරී කථිකාවතකින් යුතුව කටයුතු කරනු ලබන බවට එමඟින් පෙන්වා දී තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 58 වැනි නිත්‍ය සැසිවාරයේ දී සාමාජික රටවල මානව හිමිකම් තත්ත්වය සහ එය ප්‍රවර්ධනය වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කරන අතර සාමාජික රටවල විදේශ ඇමැතිවරු ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයින් එක්වීමට නියමිතයි. ඒ අනුව සාමාජික රටවල් 47 ක නියෝජිතයින් මේ සඳහා එක්වන අතර අප්‍රිකානු රටවල් 13, ආසියා පැසිෆික් රටවල් 13, ලතින් ඇමෙරිකානු සහ කැරිබියන් රටවල් 8ක්, බටහිර යුරෝපා සහ වෙනත් රටවල් 7 ක් සහ නැඟෙනහිර යුරෝපීය රටවල් 6ක් ඊට අයත් වෙයි.
මහින්ද අලුත්ගෙදර