මෙරට තරුණ තරුණියන් වෙත විදේශ රැකියා අවස්ථා රැසක් ලබාදෙමින් 2025 වසරේ පළමු විදේශ රැකියා පොළ මහනුවර දී සාර්ථකව අවසන් කර තිබේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, බලපත්‍රලාභී විදේශ රැකියා ආයතන සමඟ සහයෝගයෙන්, 2025 වසරේ පැවැත්වූ පළමු විදේශ රැකියා පොළ මහනුවර, නුගවෙල මධ්‍ය විද්‍යාල පරිශ්‍රයේ දී විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර කාර්යාංශයේ මධ්‍යම පළාත් කාර්යාලය සහ අලෙවිකරණ අංශය ඒකාබද්ධව, දේශීය තරුණ තරුණියන්ට විදේශ රැකියා අපේක්ෂා ඉටු කරගැනීමට අවස්ථා ලබාදීම අරමුණු කරගෙන මේ රැකියා පොළ පැවැත්වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මේ වැඩසටහන විදේශ රැකියා සොයන්නන් විශාල පිරිසකගේ ආකර්ෂණයට ලක්වූ අතර, විදේශ රැකියාවලට අයදුම් කිරීමට සහ විදේශ රැකියා සුරක්ෂිත කිරීමට අවශ්‍ය පුහුණු පාඨමාලාවන්ට අදාළ මඟපෙන්වීම ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව ලබාදුන්නේය. විදේශ රැකියාවට අවශ්‍ය කරන අදාළ සහතික සහ වෘත්තීය කුසලතා ලබාගැනීම පිළිබඳ වටිනා තොරතුරුද එය සපයන ලද අතර මේ වැඩසටහනේ දී විදේශගත ශ්‍රමිකයන්ගේ දරුවන්ට පාසල් උපකරණ ප්‍රදානය කිරීම සහ විදේශ රැකියාවල නිරතව සිට යළි පැමිණි ශ්‍රමිකයන්ගේ ස්වයං රැකියා අවස්ථා සඳහා මූල්‍යාධාර ප්‍රදානය කිරීම වැනි විශේෂ මුලපිරීම් ද ඇතුළත් විය.
මේ උත්සවයේ කැපී පෙනෙන සිදුවීමක් වූයේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA), වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සහ හෝටල් පාසල වැනි රජයේ පිළිගත් ආයතනවල සහභාගීත්වය වන අතර එමඟින් ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීය රැකියා සඳහා බඳවා ගැනීම් පහසු කරවීය.
රැස්ව සිටි පිරිස ඇමතූ නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍ර මහතා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහන අගය කළ අතර, සංක්‍රමණික සේවකයන් නැවත මවුරටට පැමිණි පසුවත් ඔවුන්ගේ දරුවන්ට අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවට පොරොන්දු විය. විදේශ රැකියා සොයන අය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමේ වැදගත්කම ඔහු අවධාරණය කළ අතර පසුගිය පාලනය යටතේ සිදුවූ අක්‍රමිකතා පිළිබඳ ගැටලු විසඳීමට විනිවිද පෙනෙන බඳවා ගැනීමේ ක්‍රියාවලියක අවශ්‍යතාව අවධාරණය කළේය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ, අතිරේක සාමාන්‍යාධිකාරි ප්‍රියන්ත වීරසේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එච්.ඩබ්ලිව්. සමන්ත, මධ්‍යම පළාත් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු නිලෝමි කන්නන්ගර, අලෙවිකරණ අංශයේ කළමනාකරු රසික සිරිසේන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
මහින්ද අලුත්ගෙදර