Home » ඉතිරි ගුවන් ගමන් බලපත්‍ර මසක් තුළ නිකුත් කරනවා

ඉතිරි ගුවන් ගමන් බලපත්‍ර මසක් තුළ නිකුත් කරනවා

-මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල

by sachintha
February 25, 2025 2:23 am 0 comment

නිකුත් කිරීමට ඉතිරිව පවතින සියලු ගුවන් ගමන් බලපත්‍ර මාසයක් තුළ නිකුත් කර, එම ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් ක්‍රමිකව සිදු කෙරෙමින් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පැවසුවේය.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශ්‍ය උපදේශක කාරක සභාව පළමුවරට ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (22) දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ ඒ මහතා මේ බව කීවේය.

ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම පිළිබඳව ජනතාව තුළ බිඳවැටී ඇති විශ්වාසය නැවත ඇතිකිරීම මූලික අරමුණ කරගෙන පැය 24 පුරා ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කළ බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

එමෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවකයන් ඒ වෙනුවෙන් සිදු කරන කැපවීම වෙනුවෙන් සභාපතිවරයා ඔවුන් වෙත සිය ස්තුතිය පළ කළේය.

තවද ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාලයක් අදාළ මුද්‍රණ යන්ත්‍ර ලබා ගැනීමෙන් පසු යාපනයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවත් ප්‍රාදේශීය කාර්යාලවල ගමන් බලපත්‍ර නිකුත් කිරීම දෙගුණ කරන බවත් කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දෙන ලෙසට කරන ලද ඉල්ලීම සම්බන්ධව කාරක සභාවේ දී සාකච්ඡා කරන ලදි. ඒ අනුව එම මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් මේ වනවිට මන්ත්‍රීවරුන්ට පවතින තර්ජන සම්බන්ධයෙන් විමර්ශනය කරමින් අවසන් වාර්තා සකස් කරමින් පසුවන බවත් කාරකසභා සභාපතිවරයා මෙහිදී පැවසුවේය.

එම තක්සේරු වාර්තා ලැබීමෙන් පසු අදාළ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බව කාරකසභා සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

තවද පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මේ වනවිට පවතින තත්ත්වය හා එය මැඬපැවැත්වීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව ද කාරක සභාව තුළ සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ වැඩබලන පොලිස්පතිවරයා, ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මූලික කරගෙන මෙ‍ලෙස පාතාල ක්‍රියාකාරකම් මතුව ඇති බව පෙන්වා දුන්නේය.

විදේශයන්හි සිට මෙලෙස මෙහෙයවන මෙම පාතාල ක්‍රියාකාරකම් සිදු කරන පිරිස් හඳුනාගෙන, ඔවුන් අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ඒම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අවශ්‍ය කටයුතු කෙරෙන බව ද ආවධාරණය කළේය.

මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොලිස් සේවයේ නිරත නිලධාරීන්ගේ වැටුප් මෙවර අය-වැය යෝජනා ඔස්සේ අඩු වීමක් වන බවට කරුණු ඉදිරිපත් වී ඇති බව පැවසීය. ඊට පිළිතුරු ලබාදුන් සභාපතිවරයා ප්‍රතිශාතාත්මකව අය-වැය තුළ යම් යම් වැටුප් අඩු වීම් පෙන්නුම් කළ ද කිසිම නිලධාරියකුගේ වැටුප් අඩු වීමක් සිදු නොවන බවත්, අනිවාර්යයෙන් වැටුප් වැඩි වීමක් පමණක් සිදුවන බවත් අවධාරණය කළේය.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරු, කාරක සභා සාමාජික මන්ත්‍රීවරු, අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් මෙම රැස්වීමට සහභාගි වී සිටියහ.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT