Sunday, April 20, 2025
Home » සංජීව ඝාතනට ආ බව කියන ඉෂාරාගේ මව සහ බාල සහෝදරයා පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කරයි

සංජීව ඝාතනට ආ බව කියන ඉෂාරාගේ මව සහ බාල සහෝදරයා පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කරයි

by chanaka
February 25, 2025 7:20 pm 0 comment

ගනේමුල්ල සංජීවගේ ඝාතන සිද්ධියට සම්බන්ධ නීතිඥ වෙස් ගෙන ගිනි අවිය රැගෙන ආ බව කියන ඉෂාරා සෙව්වන්දිගේ මව සහ බාල සහෝදරයා කොළඹ අපරාධ කොට්ඨාශයේ පැය 24 ක කාලයක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇති බව එම අපරාධ කොට්ඨාශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවේ අද (25) දැන්වීය.

අදාල ඝාතනයට අනුබල දීමේ චෝදනාව මත මෙම සැකකරු හා සැකකාරියව පෙරේදා දින අත්අඩංගුවට ගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කෙරිණි.

මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් දැනීමත් තිබියදී ඒ සම්බන්ධව තොරතුරු වසං කර අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ අවුරුදු විසිතුනක් වූ කටුඇල්ලේගම මීගමුව ලිපිනයේ පදිංචි පිංපුර දේවගේ චමිදු තිවංක වීරසිංහ සහ සේසත්පුර දේවගේ සමන්ති(48) යන සැකකරුවන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට කරුණු දැක්විය.

මොවුන් දෙදෙනා අදාල ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සහ බාල සහෝදරයා වන බවට අනාවරණය වී තිබෙන බවත් මෙම ඝාතනය සම්බන්ධයෙන් දැනුවත් වී සිටි බවද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට කරුණු දැක්වීය.

වෙඩික්කරු වන සමිඳුගේ මැසේජර් ගිණුම හරහා ඉෂාරා සෙව්වන්දි යන දෙවන සැකකාරිය තම බාල සොහොයුරාට කෙටි පණිවිඩ සහ ඇමතුම් යවා තිබෙන බවද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැන්වීය.

” උසාවිය ළඟදී සංජීවට ගහනවා” යනුවෙන් එම සැකකාරිය සොහොයුරාට මැසේන්ජර් හරහා කෙටි පණිවිඩයක් යවා තිබූ බවත් සිද්ධිය සිදුවූ ඉකුත් 19 වන දින ගනේමුල්ල ඝාතනය කිරීමෙන් පසු “වැඩේ ඉවරයි” යනුවෙන් කෙටි පණිවිඩයක් මැසේජර් හරහා යවා ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට වැඩිදුරටත් කරුණු දැක්වීය.

ඝාතනය සිදුවීමට පෙර කෙහෙල් බද්දර පද්මේ යන පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂයක මුදලක් දෙවන සැකකාරිය ලබාගෙන මෙම සැකකරුවන්ගේ ගිණුමට දමා ඇති බවටද කරුණු හෙළි වූ බව කොළඹ අපරාධ කොට්ඨාශයේ විමර්ශන නිලධාරීහු අධිකරණයට සඳහන් කළහ.

අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරුගෙන් ලබාගන්නා ලද ප්‍රකාශ අනුව තහවුරු වූයේ, ඉෂාරා සෙව්වන්දී වෙඩික්කරුගේ පෙම්වතිය බවය. තවද ඉෂාරා සැකකාරියට වෙනත් පෙම් සබඳතාවයක් තිබූ බවත් එම පුද්ගලයා මේ වන විට බන්ධනාගාර ගතවී සිටින බවද අත්අඩංගුවට ගත් සැකකරුගේ තොරතුරු වලින් අනාවරණය වූ බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැන්වීය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙවන සැකකාරියගේ මව භාවිතා කරනු ලබන්නේ පෞද්ගලික බැංකුවක ගිණුමක් බවත් එම පෞද්ගලික බැංකුවට අදාල ගිණුමක් හරහාම සැකකාරිය ඝාතනයෙන් පසු ඇඳුම් මිලදී ගැනීමට මුදල් ලබාගෙන ඇති බවටද සැක පළ කරන බවද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට කරුණු දැක්වීය.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළ මෙම සැකකරුවන් දෙදෙනා පැය විසි හතරක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් අතර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රගතිය සදහන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළාය.

කල්පනි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT