Sunday, April 20, 2025
Home » සංජීව ඝාතනය කළ වෙඩික්කරුගේ කන්අඩි පුපුරලා

සංජීව ඝාතනය කළ වෙඩික්කරුගේ කන්අඩි පුපුරලා

by chanaka
February 25, 2025 8:44 am 0 comment

සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන සංජීව කුමාර සමරරත්න ‌හෙවත් ගණේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරුගේ කන් අඩි පිපිරීමක් සිදුව ඇතැයි ඔහුගේ නීතිඥ අජිත් පතිරණ මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (24) දැනුම් දුන්නේය.

තම සේවාදායකයා වන අංක 202/1/ඒ, දඹහේන පාර, මහරගම පදිංචි 27 හැවිරිදි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි නමැති අයගේ කන් අඩි පිපිරීමක් සිදුව ඇති බවත්, ඒ හේතුවෙන් ඔහුගේ කන් නොඇසෙන බව ප්‍රකාශ කරන බවත් අධිකරණය වෙත දන්වා සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා තම සේවාදායකයා ප්‍රතිකාර සඳහා යොමු කරන්නැයිද ඉල්ලා සිටියේය.

තම සේවාදායකයාගේ කන්අඩි පිපිරීමක් සිදුව ඇතත්, එය සිදුව ඇත්තේත් ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ වරාය පොලිසියේ රඳවා සිටියදී නොවන බවත් සඳහන් කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය දුන් අවසරය පරිදි තම කනිෂ්ඨ නීතිඥවරුන් දෙදෙනකු සැකකරුට අවශ්‍ය නීති උපදෙස් දීම සඳහා ඔහු රැඳී සිටින ස්ථානයට ගිය අවස්ථාවේදී එම කරුණු අනාවරණ වී ඇතැයි ද අධිකරණය වෙත දන්වා සිටියේය.

තම සේවාදායකයාගේ කන්අඩි පිපිරීම පිළිබඳ පොලිසියට චෝදනා නොකරන බව ද ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ දන්වා සිටියේය.

සැකකරුගේ නීතිඥවරයා පවසන දෙය පිළිබඳ දැනුවත් දැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ගෙන් විමසා සිටියාය.

එවැනි දෙයක් පිළිබඳ විමර්ශන නිලධාරින්ට සැකකරු ප්‍රකාශ කර නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාසයේ සැරයන් (51237) එම්. ඒ. එන්. ඩී. බණ්ඩාර මහතා අධිකරණය වෙත දන්වා සිටියාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT