1926 වසරේ සිට මෙරට ප්‍රථම මහා පරිමාණ වාණිජ පුවත්පත් ආයතනය “ලේක්හවුස්” නමින් එකම වහලක් යටතේ සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කළේය. ලේක්හවුස් මන්දිරය ඉදිකිරීමෙන් පුවත්පත් මුද්‍රණය කිරීම පමණක් නොව කොළඹ කොටුවට කලාගාරයක් බඳු දේශීය සම්ප්‍රදායට අනුගතව ඉදිකළ මන්දිරයක්ද ලක් ජනතාවට පිරිනැමීය.
ඩී.ආර්. විජයවර්ධන 139 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් පැවැත්වෙන දානමය පින්කම අදට යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය විධිමත් කර්මාන්තයක් බවට පත් කළ සහ මෙරට නිදහස් අරගලය සඳහා මුද්‍රිත අකුරු මඟින් පන්නරය ලබා දුන් ඩී. ආර්. විජයවර්ධන මැතිඳුන් මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ නොමැකෙන සටහනක් ලෙස සඳහන් කළ හැකිය. ඔහු ලේක්හවුස් ආයතනය පිහිටුවමින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ජාතික පුවත්පත් පළ කළ අතර එම පුවත්පත් මෙරට නිදහස, ජාතිකත්වය වෙනුවෙන් ඉටු කළ මෙහෙවර විශාලය. ඔහු ආරම්භ කළ එම පුවත්පත් අදද මෙරට තුළ සුවිශාල කාර්ය භාරයක් ඉටු කරනු ලබයි.
දොන් පිලිප් විජයවර්ධන මුහන්දිරම්තුමාගේ සහ හෙලේනා විජයවර්ධන ළමාතැනියගේ තෙවැනි පුත්‍රයා ලෙස 1886 පෙබරවාරි මස විසි තුන්වන දින දොන් රිචඩ් විජයවර්ධන දරුවා උපත ලැබුවේය. කොළඹ මෝදර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා, උසස් අධ්‍යාපනය ලැබීමට එංගලන්තයට ගියේ එම වකවානුවේ දී උසස් අධ්‍යාපනය ලැබීමට අධ්‍යාපන පීඨයක් ලංකාවේ ස්ථාපිතව නොතිබූ හෙයිනි. හේ තම උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගත්තේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයයි.
සර් ජේම්ස් පීරිස් සහ සර් පොන්නම්බලම් අරුණාචලම් මහත්වරුන් එදා කේම්බ්‍රිජ් සරසවියේ දීප්තිමත් උපාධිධාරීන් දෙපළකි. විජයවර්ධන සිසුවා අධිනීතිඥවරයකු වීමේ චේතනාවෙන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ එකල මෙරට තිබූ සමාජ මට්ටමේ ඉහළම පිළිගැනීමක් අධිනීතිඥ ධුරය සඳහා තිබූ බැවිනි. ඉන්දියාවේ අගමැතිවරයෙකුව සිටි ශ්‍රී ජවහර්ලාල් නේරු ද විජයවර්ධන මහතා එහි ශිෂ්‍යයෙකුව සිටි අවධියේ එම විශ්වවිද්‍යාලයේම උගත් ශිෂ්‍යයෙකි. උසස් අධ්‍යාපනය ලැබූ යුගයේ සුද්දන්ගේ රටේදී ලංකාවේ, සුද්දන් ගෙන ගිය පාලනයට එරෙහිව ඔවුනට කරුණු වටහා දීමටත්, ඒ වෙනුවෙන් යම් සහන ලබා ගැනීමටත් විජයවර්ධන මහතා සමත් විය. අධිනීතිඥයකු ලෙස පත්වූ විජයවර්ධන මහතා මෙරටට පැමිණෙන ලදි.
“සිලනීස්” පුවත්පත මිලදී ගැනීම
මව්බිමට පැමිණීමෙන් කෙටි කලක් නීති වෘත්තියෙහි යෙදුණද, ඔහුගේ සිහිනය වී තිබුණේ පුවත්පත් ආයතනයකි. එය එංගලන්තයේ සිටියදී පවා ඔහුගේ සිහිනය වී තිබූ බව එච්.ඒ.ජේ. හුළුගල්ල මහතා විසින් රචිත ඩී.ආර්. විජයවර්ධන චරිතාපදානයේ සඳහන් වේ. අලුත්කඩේ උසාවි සංකීර්ණයේ නීති පුස්තකාලයේ පොත්පත් පරිශීලනයත්, දක්‍ෂ නීතිඥයන් හමුවීමත් පුරුද්දක් කොටගෙන තිබුණු ඔහු ලංකාවට දේශපාලන නිදහස ලබා ගැනීම උදෙසා බලයක් පා ක්‍රියාකළ හැකි දක්‍ෂ උගත් නීතිඥවරුන් පිළියෙල කිරීම තුළින් විජයවර්ධන මහතා සිදු කළ නිහඬ එහෙත් ප්‍රබල මෙහෙවර එදා කා අතරත් ප්‍රචලිත විය.
“සිලනීස්” පුවත්පත ඔහු මිලදී ගත් පළමු පුවත්පත විය. එය 1915 උගත් ලාංකික නියෝජිතයා තෝරා ගැනීම සඳහා පැවති ඡන්දයේදී දොස්තර මාකස් ප්‍රනාන්දු සමඟ තරග කොට ඔහු පරාජය කළ පොන්නම්බලම් රාමනාදන් මහතා වෙනුවෙන් ආරම්භ කළ පුවත්පත විය. ඩී. ආර්. විජයවර්ධන මහතා එම පුවත්පත සහ මුද්‍රණාලය රුපියල් 21,000කට මිලදී ගත්තේය. 1909 දෙසැම්බර් ආරම්භ කොට පවත්වාගෙන යමින් තිබූ “දිනමිණ” පුවත්පත සිංහල භාෂාවෙන් පළවූ තුන්වන දිනපතා පුවත්පත විය. එහි කර්තෘවරයාව සිටියේ “සරසවි සඳරැස” පුවත්පතේ කතෘවරයාව සිටි එච්.එස්. පෙරේරාය. ඒ වන විට එච්.එස්. පෙරේරා මහතාට අයත්ව තිබූ දිනමිණ පුවත්පත හා මුද්‍රණාලය විජයවර්ධන මහතා විසින්1914 දී මිලදී ගත්තේය.
පළමු ලෝක යුද සමයේ පුවත්පත්වල සියලුම ප්‍රවෘත්ති පළ කිරීමට ප්‍රථම ඉංග්‍රීසි ආණ්ඩුවේ පුවත් නිසි බලධාරියාගේ අනුමැතිය පිණිස ඉදිරිපත් කළ යුතු විය. පුවත්පත මුද්‍රණයේ සිට එය පාඨකයා අතට පත්වන තෙක් සිදුකෙරෙන සියලුම කාර්යයන් පිළිබඳව විජයවර්ධන මහතා පැහැදිලි තක්සේරුවක සිටියේය. ඔහු නිරන්තරයෙන් ඒ පිළිබඳව සොයා බැලුවේය. ඒ අනුව වාණිජ පුවත්පත් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාලතම සමාගම ආරම්භ කිරීමට ඔහුට හැකි විය. පසුව විවිධ තැන්වල ස්ථානගතව තිබූ දිනමිණ, ඩේලි නිවුස් දැන්වීම් අංශ හා කාර්යාල කටයුතු එකට එක්කරමින් කොළඹ කොටුවේ බේරේ වැව අසල තිබූ මනරම් සුන්දර භූමි භාගයක “ලේක්හවුස් මන්දිරය” ඉදිකරන ලදි.
1926 වසරේ සිට මෙරට ප්‍රථම මහා පරිමාණ වාණිජ පුවත්පත් ආයතනය “ලේක්හවුස්” නමින් එකම වහලක් යටතේ සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කළේය. ලේක්හවුස් මන්දිරය ඉදිකිරීමෙන් පුවත්පත් මුද්‍රණය කිරීම පමණක් නොව කොළඹ කොටුවට කලාගාරයක් බඳු දේශීය සම්ප්‍රදායට අනුගතව ඉදිකළ මන්දිරයක්ද ලක් ජනතාවට පිරිනැමීය. ලේක්හවුස් මන්දිරය ඉදිකිරීමේදී එතුමා හෙළ කලාවට මුල්තැන දී කටයුතු කර තිබේ. “ආබර් කොම්බි” යන ගෘහ නිර්මාණ ශිල්පියා ලවා සැලසුම් කරගෙන ඇති මෙහි ඇතුළු වන දොරටුවේ සිට සෑම අංගයකින්ම විදහාපාන්නේ දේශීය පැරණි ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණයන්ය. ඒ අනුව ලේක්හවුස් ආයතනයේ එදත් අදත් ඇති සඳකඩ පහණ සහ නෙළුම් මල් මෝස්තර, නාරිලතා මෝස්තර, කොරවක් ගල් මඟින් පෙන්නුම් කරන්නේ ලේක්හවුස් ආයතනය අපේ කලා ශිල්පවලටද ප්‍රමුඛත්වයක් දී ඇති බවයි.
නැණවත් ගුණවත් පරපුරක් බිහි කිරීම
ඩී.ආර්. විජයවර්ධන මහතා මෙරට ප්‍රථම වරට මහා පරිමාණ පුවත්පත් කර්මාන්තයට මුදල් යෙදවූයේ දේශ හිතෛෂි අරමුණු රැසක්ද ඉටු කර ගැනීමට බව පැහැදිලිය. ඒ අනුව රටට නිදහස ලබා ගැනීම, දේශීය කලා ශිල්ප ඔප්නැංවීම, මෙරට උගත් බුද්ධිමත් සිංහල භාෂාව පිළිබඳ දැනුමක් හැඟීමක් ඇති නැණවත් ගුණවත් දරු පරපුරක් බිහි කිරීම හා දේශානුරාගය ඔප්නැංවීම ඒ අරමුණු අතර වේ.
1930 මාර්තු මස 30 දින සිළුමිණ පුවත්පත ආරම්භ කිරීම විජයවර්ධනයන් විසින් ලාංකේය පුවත්පත් නමැති සයුරට මුදාහළ අතිප්‍රබල නෞකාවක් විය. ලංකාවේ ආරම්භ කරන ලද මුල්ම ඉරිදා සිංහල පුවත්පත සිළුමිණ වේ. පියසේන නිශ්ශංක සූරීන් සිළුමිණ ඉරිදා සංග්‍රහයේ ප්‍රථම කතුවරයා විය. සමාජයේ සෑම තරාතිරමක පුද්ගලයන්ගේ දැනුම බුද්ධිය වර්ධනය කෙරෙන තොරතුරුවලින් පොහොසත් සිළුමිණ පුවත්පත එහි වටිනාකම පදනම් කරගෙන එදා “ශත දහයේ විශ්වවිද්‍යාලය” ලෙස විරුදාවලිය ලැබීය. පියසේන නිශ්ශංකයන් දිනමිණේ කර්තෘ පදවිය භාරගත් නිසා මාර්ටින් වික්‍රමසිංහ සිළුමිණ කර්තෘවරයා ලෙස 1934 වසරේදී සේවයට එක්විය.
දිනමිණ, සිළුමිණ, ඩේලි නිවුස් හා ඔබ්සවර් යන පුවත්පත් ඈත ගම් දනව් තුළ වැඩිම පාඨක සංඛ්‍යාවක් සහිතව ලංකාවේ මුද්‍රණය කෙරෙන වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි වන පුවත්පත් බවට පත් විය. මෙය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කෙරෙන සෑම පුවත්පතකටම පොදු විය. ඒ අනුව 1932 වසරේදී “තිනකරන්” නම් දෙමළ පුවත්පත ද, 1948 දී “තිනකරන් වාරමංජරි” නම් සති අන්ත පුවත්පතද විජයවර්ධන මහතා විසින් ආරම්භ කරන ලදි. 1950 දශකයේ තිනකරන් පුවත්පතට එක්වන මෙරට සිටි ප්‍රමුඛ පෙළේ ජනමාධ්‍යවේදියකුද, මහාචාර්යවරයකුද හා පසුකාලීනව යාපනය සරසවියේ ප්‍රථම උපකුලපති ද වූ කේ. කෛලාසපති මහතා එම පුවත්පතෙහි උප කර්තෘවරයකු ලෙස සේවයේ යෙදුණේය.
ප්‍රධාන පුවත්පත් රැසක් දායාද කිරීම
වසරක් තුළදී ඔහු තිනකරන් හි ප්‍රධාන කර්තෘවරයා බවට පත්විය. දෙස් විදෙස් සාහිත්‍ය ඇසුරු කරගනිමින් ද, විකල්ප විෂයයන් අලළා පෝෂණය වූ ශ්‍රී ලංකාවේ දෙමළ මාධ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම දෙමළ සාහිත්‍යයේද සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. තවද බුදුසරණ, මිහිර, නවයුගය, තරුණි, සුබසෙත, විදුනැණ, සිත්මිණ, ආරෝග්‍යා හා මාංචු වැනි සතිපතා පුවත්පත් රැසක් ද ලේක්හවුස් ආයතනය ජාතියට දායාද කර තිබේ. මෙලෙසින් ප්‍රධාන පුවත්පත් රැසක් දායාද කිරීමට ලේක්හවුස් ආයතනයට හැකි වූයේ ඩී.ආර්. විජයවර්ධන මහතා තුළ තිබූ විශිෂ්ට බුද්ධිය, දූරදර්ශි ව්‍යාපාරික ඥානය, සංවිධාන ශක්තිය හා කාර්යශූරත්වය යන සාධනීය පෞරුෂත්ව ලක්‍ෂණ නිසාය.
බෞද්ධ ප්‍රබෝධයත් දැඩි බොදු ආගම් භක්තියකින් පසුවුවත් අනෙක් ආගම් පහත්කොට නොසැලකීම විජයවර්ධනයන්ගේ සිරිත විය. සේදවත්තේ විහාරය, ගංගාරාමය, බම්බලපිටියේ වජිරාරාමය එතුමන් ඉත සිතින් ආධාර උපකාර කළ විහාරස්ථාන අතර කිහිපයකි. බම්බලපිටියේ වජිරාරාමයෙහි අදටත් දැකගත හැකි සිහිවටන නාමපුවරුවක එදා 1941 මාර්තු 01 දින ඩී.ආර්. විජයවර්ධන මහතා විසින් සිදුකරන ලද මහාර්ඝ පින්කමක් පිළිබඳව මෙලෙස දැක්වේ.
“මෙම වජිරාරාමයෙහි දකුණු කෙළවර නැඟෙනහිරබද පර්චස් 37ක් පමණ වන බිම් කොටස ඩී.ආර්. විජයවර්ධන අධිනීතිඥතුමන් විසින් සඟසතු කොට පුදන ලදි. 1941 මාර්තු 01 දින”
තවද පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටුවීමේදී ප්‍රබල සහායක් මෙන්ම අනුබලයක් සැපයූ ඩී.ආර්. විජයවර්ධනයන්ගේ එම සේවය සිහිපත් කරමින් විශ්වවිද්‍යාලයේ ශාලාවක් එතුමන්ගේ නමින් නම් කර ඇත. එම විශ්වවිද්‍යාලයේ පැවිදි ශිෂ්‍යයන්ගේ නේවාසික පහසුකම් සඳහා සංඝාරාමයක් ඉදිකරවීමට අරමුදලක් පිහිටුවා ඊට අවශ්‍ය ප්‍රතිපාදන ද වෙන් කළේය.
1930 දශකයේ මුල් භාගයේදී අනෙකුත් ව්‍යාපාරිකයන් අවධානය යොමු කරන්නටත් පෙර තම යටත් සේවකයන් උදෙසා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහිත ලේක්හවුස් සේවක අර්ථසාධක අරමුදල සකස් කළේ එතුමන් තම පෞද්ගලික ධනයෙන් අතිවිශාල මුදලක් ද ඒ සඳහා බැර කරමිනි. තවද සේවකයන් උදෙසා නිවාස යෝජනා ක්‍රමයක් තැනවීමට එතුමන්ගේ තිබුණේ තදබල වුවමනාවකි. එහෙත් එය සිදු කිරීමට පෙර එතුමන් 1950 ජූනි මස 13 වන දින වසර 64ක් ආයු වලඳා දැයෙන් සමුගෙන තිබිණි.
ඇත්ත වශයෙන්ම පූර්ව නිදහස් යුගයේදී මෙරට ජන සමාජය එක් රුක් සෙවණකට ගැනුණේ ඔහු බිහි කළ මාධ්‍යයන්හි රුකුලෙනි. ජාතික, සමාජ හා දේශපාලන ක්‍රියාවලියෙහි නිරතවූ එක් වීරෝධාර නියමුවකු ලෙස එතුමන් ඉතිහාසගත වී ඇත. එමෙන්ම දේශයට නිදහස ලබා දීමට නායකත්වය ලබා දී ස්ව ජන කණ්ඩායම් මෙහෙයවූ නායකයන්ගේ නිදහස් අදහස් අභීතව සිය පුවත්පත්හි පළකොට නිදහස් ජාතික චින්තනයට සමාජය, ජාතිය පෙළගස්වන ලද පුවත්පත් ලොවේ ප්‍රමුඛයා වූ ඩී.ආර්. විජයවර්ධනයන් ලාංකේය පුවත්පත් කලාවේ පියා යන විරුදාවලියෙන් පිදුම් ලැබිය යුතුම චරිතයකි.
එම්. තාරික්