‘මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ සැම උරුමයි…’
සුනිල් සරත් පෙරේරා අතින් ලියවී, සංගීත් නිපුන් සනත් නන්දසිරිගේ සංගීතයෙන් සහ ගායනයෙන් ඔපවත් වූ මේ ගීතය ශ්‍රී දළදා වහන්සේගේ අභිමානය සංකේතවත් කරන පදමාලාවකි.
‘උත්තම මුනි දළදා වඩම්මන
මොක් පුර රන් නෞකා බලන් සකි…’
යනුවෙන් අජන්තා රණසිංහයන් විසින් ලියන ලදුව, ධර්මදාස වල්පොලයන් විසින් ගායනා කරන ලද ඉහත ගීතය ද ඉමහත් භක්තිමත් හැඟීම් දනවන නිර්මාණයකි.
‘සෙංකඩගලපුර දළදා බුදු රැස්
විහිදෙන තුරු නැහැ වරදින්නේ…’
යැයි අරීසෙන් අහුබුදුවන් ලියූ පද පෙළට මිහිරි හඬින් ජීවය දුන්නේ ඉකුත් සතියේ දැයට සමු දුන් විශිෂ්ට ගායන ශිල්පිනි අමිතා වැදිසිංහයෝ ය.
උතුම් ශ්‍රී දළදා වහන්සේ ප්‍රස්තුත කර ගත් ඉහත කී සාහිත්‍යමය නිමැවුම් යළිදු සිහිපත් වූයේ ‘යළිත් වරක් දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සම්පාදනය වන්නේ ය,’ යන පුවත ඇසීමෙන් අනතුරුව ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව දළදා ප්‍රදර්ශනයක් පවත්වන්නැයි කරන ලද ඉල්ලීමට උන් වහන්සේගේ අනුමැතිය ලැබී තිබිණි. ඒ අනුව එම දළදා ප්‍රදර්ශනය එළඹෙන අප්‍රේල් මාසයේ පැවැත්වෙන බව ද ඒ සමඟ ම ප්‍රකාශ වී තිබිණි.
එනයින් මෙවර දළදා ප්‍රදර්ශනයක් පැවැත්වෙන්නේ වසර දහසයකට පසුව ය. එය දෙස් විදෙස් බෞද්ධ අබෞද්ධ සියලු දනට වැදගත් අතිශය සුවිශේෂ කාරණයකි. ඒ, මහනුවර සෙංකඩගලපුර පිහිටි දළදා මාලිගාවේ වැඩ වෙසෙන උතුම් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ බෞද්ධයන්ගේ පමණක් නොව, සියලු ජන වර්ගවල, ආගම්වල දෙස් විදෙස් සියල්ලගේ ම භක්තිමත් ආදරයට පත් වූ පූජනීය ස්ථානයක් වන බැවිනි.
දළදා මාලිගාව මෙරට රාජ්‍යත්වය හා බැඳුණු සුවිශේෂි සංකේතයකි. එබැවින් කවර තත්ත්වයක් යටතේ වුව ද දළදා වහන්සේට අදාළ පුද පූජා, සිරිත් විරිත් අනුගමනය කිරීම අනිවාර්ය අංගයක් ලෙස සාම්ප්‍රදායිකව පැවත එයි. දළදා වහන්සේගේ ඉතිහාසය හා උන් වහන්සේ කෙරෙහි පැවැත්විය යුතු පුද සිරිත් ඇතුළත් කොට ලියවුණු ‘දළදා සිරිත’ නම් ග්‍රන්ථයේ එකී චාරිත්‍ර වාරිත්‍ර අන්තර්ගතව පවතී.
සාමාන්‍යයෙන් පොදු මහජනතාව වෙනුවෙන් දළදා ප්‍රදර්ශනයක් පවත්වනු ලබන්නේ වසර පහක පමණ කාලයකින් අනතුරුව ය. එහෙත් විවිධ හේතු සාධක නිසා ගෙවුණු වසර දහසය පුරා එවැනි දළදා ප්‍රදර්ශනයක් පවත්වා නැත.
සාමාන්‍යයෙන් දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ සහ දියවඩන නිලමේවරයාගේ අනුමැතියත්, රාජ්‍ය නායකත්වයේ ආශීර්වාදයත් අවශ්‍ය වේ. එහිදී රට පුරා වෙසෙන පොදු ජනතාවටත්, දෙස් විදෙස් සංචාරකයන්ටත් දළදා වහන්සේ දැක බලා, වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව හිමි වේ.
මේ අතර දළදා වහන්සේ, දළදා සිරිත, දළදා ප්‍රදර්ශනය සහ දළදා පෙරහර පිළිබඳ විවිධ ජනප්‍රවාද, ආගමික මතවාද අපට අසන්න ලැබෙයි. ඒ සියල්ල ඉතා භක්තිමත් වූ හැඟීමකින් යුක්තව ජන සමාජයේ ප්‍රචලිත වූ ඒවා ය. දළදා වහන්සේ හා රාජ්‍යත්වය අතර ඇති සම්බන්ධය එවැනි එක් කාරණයකි. මේ නිසා කවර ආපදා තත්ත්වයකදී වුව ද, කවර දුෂ්කර තත්ත්වයකදී වුව ද දළදා වහන්සේට අදාළ තේවා සහ පුද සිරිත් අඩු නොකර නොකඩවා සිදු වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි.
දළදා ප්‍රදර්ශනයක් යනු ඉතා සුවිශේෂි අවස්ථාවකි. අවසන් වරට පැවති දළදා ප්‍රදර්ශනයේදී ලක්ෂ සංඛ්‍යාත ජනකායක් රැස් කකා, තෙරපෙමින් එය නැරඹූ බවට සාක්ෂි තිබේ. මේ දුර්ලභ අවස්ථාව යළිත් වරක් ජනතාවට විවර කර දීම අතිශය වැදගත් කාරණයකි.
කිත්සිරිමෙවන් රජ දවස පටන් අද දක්වාම දන්ත ධාතුන් වහන්සේ මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ ලෙස පූජෝපහාරයට ලක් වේ. එය ලාංකේය ජාතියේත්, බුදු දහමේත් උත්තරීතර සංකේතය ලෙස සැලකේ. රාජ්‍යයත්, ආගමත් එකිනෙකට යා කොට බැඳ තබා ගනිමින්, වසර 1600කට වඩා අධික කාලයක් මුළුල්ලේ පොදු මහත් ජන සමාජයේ ම ගෞරවාදරයට හා පූජනීයත්වයට පත් වූ දළදා වහන්සේ මෙරට අභිමානය සහ ප්‍රෞඪත්වය විදහා දක්වන වන්දනීය වූ සංකේතයකි. උතුම් ශ්‍රී දළදා වහන්සේ වටා බැඳුණු දේශපාලනික, ආර්ථික, සමාජීය වැදගත්කම සංස්කෘතික, සාහිත්‍ය හා කලාශිල්පමය වශයෙන් වූ චිරාගත උරුමයන් අධ්‍යයනයෙන් තවදුරටත් තහවුරු වේ.
කවර තත්ත්වයක් යටතේ වුව, යළිත් වරක් දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට ආණ්ඩුව ගත් තීන්දුව ඉතා අගය කළ යුත්තකි. එය බෞද්ධාගමිකයන්ට පමණක් නොව, සියලු ජන වර්ගවලට සහ සියලු සංස්කෘතීන්වලට වටිනා සුවිශේෂ අවස්ථාවකි. එය රටක් වශයෙන් ශ්‍රී ලාංකේය ප්‍රෞඪත්වය ඉහළට ම ඔසවා තබන කාරණයක් බව සඳහන් කළ යුතු ය.