ටී-56 අවියක් අත්අඩංගුවට ගැනීමට සාර්ථක තොරතුරු දෙන්නන්ට රුපියල් ලක්ෂ 10ක තෑගි මුදලක් දෙන බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය. පසුගිය ආණ්ඩුව සමයේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පාතාලය සහ මත්කුඩු ජාවාරමට එරෙහිව දියත් කළ යුක්තිය මෙහෙයුමට සමගාමීව ගිනි අවි අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් තොරතුරු දෙන්නන්ට ලබාදෙන ත්‍යාග මුදල වැඩි කරනු ලැබීය.
ඒ අනුව ටී 56 අවියක් සොයා ගැනීමට සාර්ථක තොරතුරක් ලබාදෙන පුද්ගලයන්ට දෙන බව සඳහන් වූ ත්‍යාග මුදල රුපියල් ලක්ෂ 05කි. වත්මන් රජය යටතේ එම මුදල පොලිස් දෙපාර්තමේන්තුව විසින් රුපියල් ලක්ෂ 10ක් බවට දෙගුණයකින් ඉහළ නංවා තිබේ. ටී 56 අවිවලට අමතරව, ඒ.කේ. 47, එම්.16. එස්.ඒ.ආර්.80, ටී 81 යන ස්යංක්‍රීය අවි සොයා ගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට ද යුක්තිය මෙහෙයුමේදී රුපියල් ලක්ෂ 05ක උපරිම මුදලක් දෙන බව සඳහන් විය. අර්ධ ස්වංක්‍රීය ගිනි අවි, පිස්තෝල වැනි අවි අත්අඩංගුවට ගැනීමට දෙන තොරතුරුවලට රුපියල් ලක්ෂ 03ක මුදලක් දෙන බව එකල කියවිණි.
ඊට අමතරව රිවෝල්වර සහ රිපීටර් තුවක්කුවක් සැකකරු ගැන ලබාදෙන ඔත්තුවකට රුපියල් 250,000ක් ද, සැකකරු නොමැතිව ගිනි අවිය පමණක් අත්අඩංගුවට ගැනීමකට රුපියල් 200,000ක්, විදේශීය රටක නිෂ්පාදිත පතොරම් තුවක්කුවක් හා සැකකරු සඳහා රුපියල් 50,000ක් ද, තුවක්කුව පමණක් නම් රුපියල් 25,000ක් ද, විදේශීය රටක නිෂ්පාදිත වෙනත් ස්වයංක්‍රීය ගිනි අවියක් සැකකරු සමඟ අත්අඩංගුවට ගැනීමට දෙන ඔත්තුවට රුපියල් 200,000ක් ද, ගිනි අවිය පමණක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රුපියල් 100,000 ක් ද, වශයෙන් තෑගි දෙන බව එකල පොලිස් මූලස්ථානය නිවේදනය කළේය. මේ හැරුණුකොට විදේශීය වශයෙන් නිෂ්පාදිත අත්බෝම්බයක් සොයා ගැනීමට ලබාදෙන ඔත්තුවට ලබාදෙන මුදල වූයේ රුපියල් 50,000 කි.
යුක්තිය මෙහෙයුමට සමගාමීව මෙසේ ගිනි අවි අත්අඩංගුවට ගැනීම් සඳහා විශාල වශයෙන් මුදල් ත්‍යාග දෙන බව සඳහන් වුවත් මහජනතාව පොලිසියට ඔත්තු දීමට එතරම් උනන්දුවක් නොවීය. එහෙත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ යුක්තිය මෙහෙයුම නමින් කෙරෙන මෙහෙයුම් නවතා දැමීමට වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පියවර ගත්තේය. ඒ අනුව නව මුහුණුවරකින් දියත් කළ පොලිස් මෙහෙයුම්වලින් මේ වන විට යුක්තිය මෙහෙයුමේදී සොයාගත් ප්‍රමාණයට වඩා අවි ආයුධ තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පොලීසිය විසින් කළ වැටලීම්වලදී සොයාගත් ගිනි අවි සම්බන්ධයෙන් වූ වාර්තාවක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරේදා (22) පැවති මාධ්‍ය හමුවකදී වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා හෙළිකරනු ලැබීය.
ඊට අනුව ටී 56 අවි 13ක්, පිස්තෝල 21ක්, රිවෝල්වර 15ක්, ඒ.කේ.47 අවි 01ක්, බෙහෙත් කොටන තුවක්කු 805ක්, බෝර 12 තුවක්කු 75ක්, ගල්කටස් අවි 10ක්, රිපීටර් අවි 07ක් සහ වෙනත් අවි 04ක් සොයාගෙන තිබේ. අවි සම්බන්ධයෙන් සහ අපරාධකරුවන් ගැන තොරතුරු 1997 අංකයට දන්වන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ගයාන් කුමාර වීරසිංහ