Home » 2030දී ඩිජිටල්කරණයේ නව මාවතකට ශ්‍රී ලංකාව ගෙන යෑම අපේක්ෂාවයි

2030දී ඩිජිටල්කරණයේ නව මාවතකට ශ්‍රී ලංකාව ගෙන යෑම අපේක්ෂාවයි

-ජනාධිපති අනුර කුමාර දිසානායක

by sachintha
February 24, 2025 1:37 am 0 comment

නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව, ලෝකය ඉදිරියේ අනෙකුත් රාජ්‍ය හා සම තරගකරුවකු බවට පත් කිරීම ආණ්ඩුවේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ කොළඹ ITC රත්නදීප හෝටලයේ පසුගියදා (20) පැවති The Innovation Island Summit-2025 සමුළුව අමතමිනි.

තවදුරටත් ජනපතිවරයා මෙ‍ෙස්ද පැවසීය,

මේ වසරේ ඩොලර් බිලියන 19ක අපනයන ආදායමක් අපේක්ෂා කරනවා. එම අපනයන ආදායම සාක්ෂාත් කර ගැනීමට නම් නවෝත්පාදන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙනවා.

මෙම ඉලක්කය සපුරා ගැනීමේදී ඩිජිටල්කරණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. ඒ වෙනුවෙන් නවෝත්පාදන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙනවා.

The Innovation Island Summit-2025 සමුළුව ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම ඔස්සේ පිළිබිඹු වන්නේ මෙරට නවෝත්පාදනය කෙරෙහි නව ව්‍යවසායකත්වය තුළ පවතින උනන්දුව සහ අපේක්ෂාවයි. මානව ශිෂ්ටාචාරයේ විවිධ අදියර අප හඳුනාගෙන තිබෙනවා. එම මානව ශිෂ්ටාචාරයේ සෑම අලුත් පරිච්ඡේදයක්ම ලියැවෙන්නේ නවෝත්පාදන හරහායි.

සෑම විටම මිනිස් ශිෂ්ටාචාරය නව අදියරකට ඔසවා තබන්නට නවෝත්පාදන සිදු කළ කාර්යභාරය ඉතා වැදගත්. මිනිසුන්ගේ අවශ්‍යතා වෙනස් නොවන නමුත් අවශ්‍යතා සපුරා ගන්නා ආකාරය වෙනස් වී තිබෙනවා. අලුත් අවශ්‍යතා සපුරා ගන්නා මාදිලිය වෙළෙඳපොළ නිර්මාණය කරනවා. නව වෙළෙඳපොළක් ඇති වන්නේ අවශ්‍යතා සපුරා ගැනීමේ මාදිලිය වෙනස් වුවහොත් පමණයි. ලෝකයේ රටවල් ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙන්නේ ඔවුන් වෙනස් වන මාදිලිය හඳුනාගෙන එය අත්පත් කර ගැනීම නිසායි. අසල්වාසී ඉන්දියාව ඊට හොඳම නිදර්ශනයක්.

අපේ රටේ නවෝත්පාදන සඳහා විශාල අවස්ථා තිබෙනවා. ශ්‍රී ලංකාව 2030 වසර වන විට ඩිජිටල්කරණයේ නව මාවතක් කරා ගෙන යෑමට අපේක්ෂා කරනවා. නවෝත්පාදන සඳහා මෙවර අය-වැයෙන් ප්‍රමුඛතාවක් ලබා දී තිබෙනවා. නව සොයා ගැනීම් වාණිජකරණය වෙනුවෙන් යොදාගත යුතුව තිබෙනවා.

නවෝත්පාදනයේ ප්‍රතිලාභ සමස්ත ජනතාව වෙත රැගෙන යෑමේ පරිසරය නිර්මාණය කිරීම ආණ්ඩුවේ වගකීමයි.

ගෝලීය ආර්ථික තරගයේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග මෙන්ම ඩිජිටල්කරණය සහ නවෝත්පාදනයේ අවශ්‍යතාව ඉතා වැදගත්. ඒ සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන්ට සහ ආයෝජකයන්ට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කරනවා. නව ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන එන ලෙසද ඉල්ලීමක් කරනවා.

නවෝත්පාදන හා ව්‍යාපාර සඳහා ධනාත්මක පරිසරයක් රට තුළ දැනටමත් නිර්මාණය කර තිබෙනවා. ඒ සඳහා දක්ෂ ශ්‍රම බළකායක් අපේ රට සතුව තිබෙනවා.

උපාලි කරුණාරත්න සහ ජයසිරි මුණසිංහ

ඡායාරූප – සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT