වියට්නාමයේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සහාය අපේක්ෂා කරන බව වියට්නාම තානාපතිනි Trinh Thi Tam පැවැසුවාය.
ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා අවශ්‍ය සහයෝගය දීමට වියට්නාම් රජය සූදානම් බව ද ඇය කීවාය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සමඟ එම අමාත්‍යාංශයේදී පැවැති හමුවකදී තානාපතිවරිය මෙම අදහස් පළ කළාය.
මෙහිදී නව ආණ්ඩුවට වියට්නාම රජයේ සුබපැතුම් එක් කිරීමට කැමති බවත් වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කැමති බවත් Trinh Thi Tam මහත්මිය මෙහිදී පැවැසුවාය.
ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය ආශ්‍රිත උපදේශන සහාය තම රටට අවශ්‍ය බවත් වියට්නාමය අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් සිදු කරන පලතුරු නිෂ්පාදනය සඳහා යොදා ගන්නා තාක්ෂණික ක්‍රම පිළිබඳ උපදේශන සහාය දෙරට අතර හුවමාරු කර ගැනීමට ද එකඟතාව පළ කරන බව ද ඒ මහත්මිය අවධාරණය කළාය.
වසර 10කට ආසන්න කාලසීමාවක් තුළ වියට්නාමය විදේශ වෙළෙඳපොළ සඳහා අවශ්‍ය පලතුරු අපනයනය සඳහා යොමු වූ බව පෙන්වා දුන් තානාපතිවරිය තරගකාරීත්වයක් නොමැතිව, දෙරට අතර පවත්නා භෝග අපනයන සඳහා හොඳ විදෙස් වෙළෙඳපොළක් වෙනුවෙන් කෘෂි නිෂ්පාදන සංවර්ධනය සඳහා අවශ්‍ය සහාය හුවමාරු කර ගැනීම කෙරෙහි තානාපතිවරිය එකඟතාවය පළ කළාය. එසේම දෙරට අතර ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම මෙන්ම පසු අස්වනු තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. ශ්‍රී ලාංකේය අවශ්‍යතාව අනුව කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ වියට්නාමය ආයෝජනය කිරීමට සූදානම් බවත් ලාංකීය අවශ්‍යතාව සඳහා වන භෝග සඳහා ප්‍රමුඛතාව දීමට ඔවුන් සූදානම් බවත් මෙහිදී තානාපතිවරිය ඇමැති ලාල්කාන්ත මහතා හමුවේ ප්‍රකාශ කළාය. වියට්නාම වැසියන් විශාල පිරිසක් දැනටමත් ශ්‍රී ලංකාවේ ජීවත්වන බවත් ඔවුන් ශ්‍රී ලංකාවේ යම් යම් ක්ෂේත්‍රවලින් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය දීමට සූදානම් බවත් තානාපතිවරිය අවධාරණය කළ අතර වියට්නාමය හා ශ්‍රී ලංකාවෙහි කෘෂිකර්මාන්තය සැලකිය යුතු කාර්යභාරයක් සිදු කරන බව ද ඇමැතිවරයා හමුවේ පෙන්වා දුන්නාය.
තානාපතිවරිය පිළිගනිමින් කෘෂිකර්ම ඇමැති ලාල්කාන්ත මහතා සඳහන් කළේ, වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන දේශපාලන සබඳතාවක් පවතින බවත්, ශ්‍රී ලාංකිකයන් අතර වියට්නාමය පිළිබඳ මෙන්ම Ho Chi Minh වැනි නායකයන් සැමදා ලාංකිකයන්ගේ හදවත් තුළ සිටින බවත්ය. ඉතිහාසය පුරාම වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර රටක් ලෙස මෙන්ම දේශපාලනිකවත් යහපත් සම්බන්ධතාවක් පැවති බවත්, එය එදා සිට අද දක්වාම නොවෙනස් සබඳතාවක් වූ බවත් ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම සියලු යෝජනාවන්, දැනුම හුවමාරු කර ගැනීම සඳහා බාධාවක් නොමැති බවත් දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීම සඳහා සංචාරක ක්ෂේත්‍රය, ඍජු ගුවන් ගමන් වර්ධනය කිරීම, කෘෂි ක්ෂේත්‍රයට අවශ්‍ය පොහොර මිල දී ගැනීම, කෘෂි තාක්ෂණය හුවමාරු කර ගැනීම සඳහා ඉදිරියේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම අවශ්‍ය බවත් අවධාරණය කළ ඇමැතිවරයා තානාපතිවරිය සිය අමාත්‍යාංශයට පැමිණීම පිළිබඳ විශේෂ ස්තූතියක් ද පළ කළේය.
Ho Chi Minh වැනි නායකයන් ශ්‍රී ලාංකිකයන්ගේ හදවතේ සිටීම ගැන ඇය ආඩම්බර වන බවත් ශ්‍රී ලාංකිකයන් Ho Chi Minh වෙනුවෙන් ඔහුගේ පිළිරුවක් නිර්මාණය කර තිබීම, ඔහු වෙනුවෙන් ලාංකිකයකු ගීතයක් නිර්මාණය කර තිබීම වැනි කරුණු දෙරට අතර ඇති සංස්කෘතික හා දේශපාලන බැඳීම මනාව පිළිඹිබු කරන බව ද මෙහිදී අවධාරණය කළාය.
බුද්ධිකා ඉඹුලාන