ඉරුවාරදය යනු දීර්ඝ කාලයක් මුළුල්ලේ වරින් වර ඇතිවන තදබල හිසරදයයි. හිරු එළියත් සමඟ මෙකී රෝගී තත්ත්වයේ වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් මෙය ඉරුවාරදය ලෙස හඳුන්වයි. ආයුර්වේදය තුළ මෙය අර්ධාවභේදය වශයෙන්ද හඳුන්වනු ලබයි. හිසරදය අතරින් ඉරුවාරදය යනු විඳදරා ගැනීමට නොහැකි අධික වේදනාවක් හටගනු ලබන රෝගයක් බව ඉන් පෙළෙන්නන් හොඳින්ම දනී. මෙය කාන්තාවන් අතර බහුල රෝගී තත්ත්වයකි. ඉරුවාරදයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ හිසෙහි එක් අර්ධයක ඇතිවන තදබල වේදනාවයි. අපගේ මොළයට පිටතින් මොළයේ ආරක්‍ෂාව සඳහා ඇති රුධිරවාහිනී සහ හිස් කබල අභ්‍යන්තරයේ ඇති රුධිරවාහිනීවලත්, හිස්කබලට පිටින් ඇති රුධිරවාහිනීවලත්, අඩංගු සෙරටොනික් නම් රසායනිකය යම් යම් හේතු සාධක මත වැඩි වූ විට රුධිරවාහිනී සංකෝචනය වීම සිදු වේ. එලෙස සංකෝචනය වූ රුධිරවාහිනී යළි විස්තාරණය වීම සිදුවන අතර එහිදී ඉරුවාරදයේදී ඇතිවන අධික හිසරදය ඇතිවීම සිදුවේ. වමනය හෝ ඔක්කාරය, නිද්‍රාශීලී බව, ඇස් දැවිල්ල සහ කැක්කුම, තියුණු ශබ්ද හා ආලෝකය නොරිස්සුම, මුත්‍රා කිරීමේ වාර ගණන වැඩිවීම, දහඩිය දැමීම ආදිය මෙහි අතුරු රෝග ලක්ෂණ වේ. ඉරුවාරදය රෝගය වැලඳීම සඳහා බලපාන හේතු සාධක කිහිපයකි. එනම් මත්ද්‍රව්‍ය භාවිතය, අවිවේකී බව, මානසික ආතතිය, අධික කුසගින්න, කාලගුණික වෙනස්කම්, කෘත්‍රිම ආහාර අනුභවය, හෝර්මෝන වෙනස් වීම් ආදියයි. ආයුර්වේදය තුළ ඉරුවාරදය සඳහා අභ්‍යන්තර හා බාහිර ප්‍රතිකාර, යෝග ප්‍රතිකාර, ආහාර විහරණ සහ නිල ප්‍රතිකාරයන් පවති. සෑම හිසරදයක්ම ඉරුවාරදය හෙවත් මිග්‍රේන් තත්ත්වයක් නොවන අතර එය අධිරුධිර පීඩනය වැනි වෙනත් රෝගයක අතුරු ලක්ෂණයන් විය හැකිය. එබැවින් මේ සඳහා ප්‍රතිකාර කිරීමේදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම බෙහෙවින් වැදගත් වේ.
මේ සඳහා යෝග්‍ය බාහිර ප්‍රතිකාර කිහිපයක් මෙසේය.
නිර්ගුණ්ඩි, පාටා, ත්‍රිපාලා වැනි ඖෂධීය තෙල් වර්ගයක් හිසෙහි හොඳින් ආලේප කර වාෂ්ප දුම් අල්ලන්න. මෙහිදී බෙලි කොළ, යකිනාරං කොළ ,දෙහි කොළ, පාවට්ටා කොළ දුම් ඇල්ලීම සඳහා භාවිත කළ හැකිය.
නළල ප්‍රදේශයේ නිර්ගුණ්ඩි, ත්‍රිපාලා වැනි තෙල් වර්ගයක් ආලේප කර නික කොළ, රතුලූනු, පාවට්ටා කොළ කොටා පොට්ටනි බැඳ වාෂ්පයෙන් තම්බා මඳ රස්නෙන් නළල සහ ඇහි බැමි ඉහළ ප්‍රදේශය තවන්න.
නික කොළ මිටක්, සියඹලා කොළ මිටක්, රතුලූනු , බුලත් කොළ යුෂෙන් අඹරා නළලේ පැලැස්තරයක් යොදන්න.
තවද ඉරුවාරදය සඳහා නිල ප්‍රතිකාර ක්‍රම රාශියක් පවතින අතර අධික හිසරදය ඇති විටදී ඇහිබැම දෙක අතර ඇති මර්මස්ථානය සහ ඇහිබැම උඩ හරි මැද ඇති මර්මස්ථානය එක අතකට රවුම් පහ බැගින් සියුම්ව අභ්‍යංග කිරීමද වඩාත් යෝග්‍යය වේ. එමෙන්ම පැසීමට බඳුන් කළා වූ ආහාර ගැනීමෙන් වැළකීම, චොකලට්, කජු වර්ග, දුම් ගසන ලද මාළු, අලි පේර සහ පැඟිරි කුලයේ පලතුරු ආදිය ආහාරයට ගැනීමෙන් වැළකීම ආදි ආහාර විහරණයන් තුළින්ද මෙම රෝගී තත්ත්වය පාලනය කර ගත හැකිය. ඊට අමතරව සුවපහසු නින්දක් ලබා ගැනීම, යෝග හෝ භාවනා කිරීමට උත්සාහ කිරීම, පරිගණක ආදී විද්‍යුත් තිරවලට වැඩි වශයෙන් නිරාවරණය නොවීම ආදි ක්‍රියාමාර්ගද අනුගමනය කිරීම මෙකී රෝගය පාලනය සඳහා වඩාත් සුදුසු වේ.
උපදෙස් – වෛද්‍ය නිලංකා පතිරණ
ප්‍රධාන වෛද්‍ය නිලධාරී, ශල්‍ය අංශය
බස්නාහිර පළාත් ආයුර්වේද රෝහල, මීගොඩ.
සටහන – ඉන්දීවරි පෙරේරා