Home » ජාතික ආරක්ෂාව වෙඩි තැබීමකට ලඝු කරන්න බෑ

ජාතික ආරක්ෂාව වෙඩි තැබීමකට ලඝු කරන්න බෑ

by sachintha
February 24, 2025 3:59 am 0 comment

පසුගිය සතියේ ජන සමාජයේත්, ජනමාධ්‍යයේත්, සමාජ මාධ්‍යයේත් උත්කර්ෂයට නැඟී තිබුණේ පාතාලයේ ප්‍රචණ්ඩත්වයයි. ඊට බලපෑ සමාජ සහ අපරාධ විද්‍යාත්මක හේතු මොනවාද යන්න ගැන එම විෂය පිළිබඳ ප්‍රවීණයකු වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුධීර ජයවීර මහතා දැක්වූ අදහස් ඇසුරින් මෙම ලිපිය සැකසුණි.

සංජීවගේ ඝාතන සිදුවීමෙන් පසුව, එකී ඝාතකයා ප්‍රධාන ජනමාධ්‍ය තුළ මෙන්ම සමාජ මාධ්‍ය තුළත් “Criminal Celebrity” කෙනෙක් නැතහොත් අපරාධ රංගධරයෙක්, ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වෙමින් තිබේ. ඔහුගේ කඩවසම් පෙනුම, හැසිරීම, උපක්‍රමශීලීභාවය සහ අපරාධ සිදුවීමේ නාට්‍යානුසරීභාවය වැනි බොහෝ දේ නිසා මෙකී Celebrity භාවය වේගයෙන් වර්ධනය වෙයි. කෙසේ නමුත් සංවේදී අපරාධ ප්‍රේක්ෂකයාට ආස්වාදයක් ලැබෙන අයුරින් මාධ්‍ය මඟින් දැක්වීම තුළින් ඇතිවිය හැකි සමාජ බලපෑම අපරාධ විද්‍යාවේ අධ්‍යයනයට ලක්වන විෂය ක්ෂේත්‍රයකි.

අපරාධ පිළිබඳ සංස්කෘතික ආඛ්‍යාන සැකසීමේදී මාධ්‍ය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. අපරාධ නාට්‍යකරණය කර අපරාධකරුවන් කුප්‍රකට වන විට, එය Òසාපරාධී චරිත කීර්තිය “Criminal Celebrity” බලපෑම්කාරීය. එහිදී විශේෂයෙන් සිත් ඇදගන්නා තරුණයන් අපරාධකරුවන් ලෙස ප්‍රකටවීමෙන්, එය තරුණ තරුණියන් අපරාධකාරී චර්යාවනට යොමු කිරීමේ මාවතක්, පෙළඹවීමක් විවර කරවයි. මෙය අසභ්‍ය දර්ශන ඇතුළු විනෝදාස්වාද ක්‍ෂේත්‍රයේ (porn star) හඹා යන ආකාරය හා සමාන අත්දැකීමකි.

අපකීර්තියේ ආකර්ෂණය

porn stars ලා ඔවුන්ගේ කර්මාන්තයේ අවධානය සහ තත්ත්වය ලබා ගන්නවා සේම, කුප්‍රකට අපරාධකරුවන්ට මාධ්‍ය ආවරණය, සමාජ මාධ්‍ය වාර්තා චිත්‍රපට තුළින් රසික අනුගාමිකයන් නිර්මාණය කරගෙන සමාන කීර්තියක් අත්කරගත හැකිය. ඉහළපෙළේ සිද්ධීන් සහ සංවේදී වාර්තාකරණය අපරාධ අයිකන (Criminal Icon ) නිර්මාණය කරයි. එහිදී අපරාධකරුවන් ජනප්‍රිය සංස්කෘතික චරිත බවට පත්වේ. උදාහරණ ලෙස Ted Bundy සහ Jeffrey Dahmer, Pedro López , Jack the Ripper වැනි දාම ඝාතකයන්, ඔවුන් ඇසුරු කරගෙන නිර්මාණය වූ කතා පොත්, චිත්‍රපට, සහ සාහිත්‍යය වෙනමම රසිකත්වයකට පවා ආභාසය ලබා දී ඇත.

පැබ්ලෝ එස්කොබාර් වැනි මැරයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, රූපවාහිනී කතා මාලා සහ රැප් සංගීතය තුළ උත්කර්ෂයට නංවා තිබේ. මේවා

පාසල් වෙඩික්කරුවන් සහ සමූහ මිනීමරුවන්ට උත්තේජනය සපයන, සමහරවිට ඒවා අනුකරණය කරන්නට පොළඹවාලිය හැකිය.

සමහර පුද්ගලයන්ට, විශේෂයෙන්ම සමාජ විරෝධී මානසික ලක්ෂණ සහිත හෝ ජීවිතය පුරා නොසලකා හරින ලද පසුබිමක ජීවත්වූ අයට, විවිධ මානසික ව්‍යාධීන් සහිත අයට, අපරාධ ඔස්සේ ලැබෙන ප්‍රසිද්ධිය, පිළිගැනීම ජීවත්වීමට ආයාචනා කරන මෙවලමක් විය හැකිය. අනුකරණය කිරීමේ ආචරණය (copycat effect) ලෙස හඳුන්වන මෙම තත්ත්වය යටතේ ප්‍රසිද්ධ වෙඩික්කරුවන්, දාම ඝාතකයන් , සමූහ වෙඩි තැබීම් අනුකරණය කිරීමෙන් මාධ්‍ය අවධානයක් ලබා ගැනීම සඳහා ප්‍රසිද්ධ අපරාධකරුවන්ගේ ක්‍රම අනුකරණය කිරීමට පෙළඹෙයි.

TikTok හෝ YouTube වැනි වේදිකා මත තරුණයන් බොහෝවිට අපරාධ සංස්කෘතිය, අපරාධ පැතිරීම සහ වයිරල් වීමෙන් ලැබෙන ප්‍රසිද්ධිය සඳහා නීති විරෝධී ප්‍රයෝග උත්කර්ෂයට නංවයි. සාම්ප්‍රදායික මාධ්‍ය මෙන් නොව, සමාජ මාධ්‍ය අපරාධ රසිකයන්, අපරාධකරුවන්, පාතාලයින් අයිකන බවට පත් කරමින් සෘජු මැදිහත්වීමක් සපයයි. සමහර තරුණයන් Òනරක පිරිමි ළමයා/ගැහැනු ළමයාÓ (“bad boy/girl” image) ප්‍රතිරූපයට ඇදී යයි. සමාජ සම්මතයන්ට එරෙහිව කැරලි.ගැසීම සඳහා විප්ලවකාරී චරිතයක් වීමේ අරමුණින් අපරාධකරුවකු බවට පැමිණෙයි..“Mugshot celebrities” ඔවුන්ගේ පෙනුම නිසා වයිරල් වෙයි.

ඇත්ත අපරාධ වාර්තා චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් අපරාධකරුවන් මනුෂ්‍යත්වයට හෝ උත්කර්ෂයට නංවන අතර, ඔවුන් බිහිසුණු කෲර අපරාධකරුවන් ලෙස නොව චමත්කාරජනක නළුවන් ලෙස පෙනේ. ඔන්ලයින් රසික පදනම තුළ මිනීමරුවන් කෙරෙහි ආදර හැඟීම් ඇති කරයි.

මෙහිදී සාම්ප්‍රදායික ප්‍රධාන ජනමාධ්‍යවලට මෙන්ම විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය වෙත ද සුවිශේෂ වගකීමක් තිබේ. එනම් අයහපත් දේ වීරකම් ලෙස උත්කර්ෂයට නැංවීම වෙනුවට ධනාත්මක සමාජ මතයක් ගොඩනැඟීම වෙනුවෙන් කටයුතු කිරීමයි. එය මාධ්‍යවල ජාතික වගකීමක් ලෙස සදහන් කළ යුතුය. අප රට 77 වසරක් තුළම ගමන් කළේ එකම රාමුවකය. නව ආණ්ඩුව වෙත ජනතාව විශාල සහ අසාමාන්‍ය වරමක් ලබා දුන්නේ ඒ වෙනස්කම් කිරීම වෙනුවෙනි. මෙතෙක් කල් සිදුවුණේ එදා වේල මාතෘකා මත යැපෙමින් කාලය ගතකිරීමය. වරෙක එක් සිදුවීමකි. කාලයකට බස් රියවල අලංකරණ උපාංග ඉවත් කිරීම පිළිබද ලොකු හා හූවකි. එහෙත්, දෛනික මාතෘකා ඔස්සේ රට කරගෙන යෑම පැරණි ආණ්ඩුකරණයේ ක්‍රමයකි. එහෙත් නව ආණ්ඩුව බලයට පැමිණියේ චින්තන වෙනසකින් රට ස්ථිර දියුණුවක් වෙත යොමු කිරීමටය. ආණ්ඩුව ඒ දේ වටහාගෙන කටයුතු කළ යුතුය. සිංගප්පූරුව වැනි රටවල් දියුණු වූයේ දෛනික න්‍යාය ඔස්සේ නොව ස්ථිර චින්තන විප්ලවයක් තුළිනි. එනිසා මේ දේ ආණ්ඩුව කළ යුතුය. ඒ වගකීමෙන් ආණ්ඩුව බැහැරව කටයුතු කළහොත් ඔවුනට ද පැරණි ආණ්ඩුවල ඉරණමම අත්විය හැකිය.

මාධ්‍ය ද සාම්ප්‍රදායික රාමුවෙන් පිටතට ගෙන අපරාධ උත්කර්ෂයට නංවන වැඩපිළිවෙළ වෙනුවට ජනතාව තුළ චින්තනය අවදි කළ හැකි ක්‍රමයක් ඇති කළ යුතුය. පසුගිය සතිවල ඇතිවූ පාතාලයේ වෙඩි තබා ගැනීම් පිළිබඳව කතා කරනු ලබන ඇතැම් කණ්ඩායම් දැන හෝ නොදැන උලුප්පා දක්වනු ලබන කරුණක් වන්නේ රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටී ඇතැයි නඟන ඝෝෂාවයි. මේ ආකාරයට ජාතික ආරක්ෂාව යන වචනය තොරොම්බල් කළ කාලයක් වූයේ රාජපක්ෂ ආණ්ඩු කාලයයි.

අපරාධ බිය නැති කරන්න

එහෙත්, ජාතික ආරක්ෂාව එක් වෙඩි තැබීමකට ලඝු කළ නොහැකිය. ජාතික ආරක්ෂාව යනු පුළුල් විෂයකි. ආහාර සුරක්ෂිතභාවය ජාතික ආරක්ෂාවේ ප්‍රමුඛ අංගයකි. රට තුළ ආහාර හිඟයක් ඇතිවේ නම් ඒ තුළින් ජාතික ආරක්ෂාව බිඳවැටීමකි. රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවේනම් ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය මුදල් නැතිනම් ජාතික ආරක්ෂාව බිඳවැටීමකි. ඉන්ධන නොමැතිනම් ආරක්ෂක අංශ යන්ත්‍රණය මුළුමනින්ම කඩා වැටේ. එසේ නැතිනම් විදේශයකින් මිලිටරි ආක්‍රමණයක් වේ නම් ජාතික ආරක්ෂාවට ගැටලු ඇතිවේ. එසේ නොමැතිව වෙඩි තබා ගැනීම් වැනි දේ ජාතික ආරක්ෂාව බිඳ වැටීමක් යැයි අරුත් ගැන්වීම නිවැරදි නැත. කිසිවකු එසේ ජාතික ආරක්ෂාව අනතුරේ යැයි කියනවා නම් ඒ විෂය පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැතිකම නිසාය.

අපරාධ බිය නැති කරන්නට නම් කේන්ද්‍ර තුනක් පිළිබඳව අවධානය යොමු කළ යුතුය. එනම් පොලීසිය, අධිකරණය සහ බන්ධනාගාරයයි. සිදු කළ සමීක්ෂණ රැසකදී තහවුරු වී ඇති කරුණක් බවට පත්ව තිබෙන්නේ පොලීසිය මෙරට ඇති දූෂිතම රාජ්‍ය ආයතනයක් බවය. එනිසා මේ ක්‍රම වෙනස වෙත යාමට නම් මූලිකව පොලීසිය මේ තතත්වයෙන් මුදාගත යුතුය. පොලීසිය පිරිසුදු කළ යුතුය. පැරණි පොලීසියට මේ කාර්යභාරය සිදු කළ නොහැකිය. එනිසා මූලිකව පොලීසිය තුළ අදාළ වෙනස්කම් කළ යුතුව තිබේ. අධිකරණය ස්වාධීන සහ මැදහත් ලෙස සිය කටයුතු සිදු කරමින් සිටියි. ඒ ගැන ගැටලුවක් නැත, එහෙත් විවිධ හේතු නිසා නඩු ප්‍රමාද වීම් සිදුවේ. ඒ ගැන අවධානය යොමු කළ යුතුය. බන්ධනාගාර පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර කටයුතු කළ යුතුව තිබේ. බන්ධනාගාරය තුළ රැඳවියන්ට ඉදිරියටත් අපරාධ කිරීමට ඉඩ ලැබේ නම් දුරකතනයෙන් එළියේ තම පිරිවර මෙහෙයවනවා නම් බන්ධනාගාරයෙන් වැඩක් නැත. එනිසා මේ තුළ ද සම්පූර්ණ පිරිසුදු කිරීමක් කළ යුතුය. අපරාධ වැළැක්වීමට නම් මෙවැනි ආකාරයේ හිස් තැන් කල් නොයවා පිරවිය යුතුය. ලාභ ලබන රැකියාවක්, ව්‍යාපාරයක් ලෙස අපරාධ මෙහෙයවීම දැන්වත් නැවතිය යුතු අතර ඒ සඳහා අවශ්‍ය කරනු ලබන ක්‍රියාමාර්ග ආණ්ඩුව විසින් නොපසුබට ලෙස ඉටු කළ යුතුව තිබේ.

උදිත ගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT