එකිනෙකට නොගැළපෙන දේවල්හි එකතුව වෙනුවෙන් ජන සමාජයේ අපූරු කියමන් පවතී. ‘එළකිරි සහ බෝල්ට් ඇණ’ යනු තරුණයන් අතර පවතින එවැනි ජනප්‍රිය යෙදුමකි. විශ්වවිද්‍යාලයේ තාරුණ්‍යය අතර පවතින එවන් යෙදුමක් වනුයේ ‘නිදහස් වෙළෙඳ කලාපය සහ රාබු වගාව’ ය.
මේ යෙදුම්වල මුලින් කියවෙන දේ සමඟ දෙවැන්න නොගැළපේ. එබැවින් ඒවා හාස්‍යය දනවන යෙදුම් වේ.
එවැනි තවත් අපූරු නොගැළපෙන යෙදුමක් පසුගියදා අපට අසන්නට ලැබිණි. ඒ, පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් ‘කෝප්’ කමිටුවේ දී ය. එහිදී කියවුණේ ජාතික තරුණ සේවා සභාවේ උත්සවයක් වෙනුවෙන් රුපියල් කෝටි 18ක මුදලක් අවභාවිත කිරීමක් පිළිබඳව ය. එපමණක් නො ව, එහි ප්‍රචාරණ කටයුතු සඳහා ටී-ෂර්ට් මිල දී ගැනීමක් පිළිබඳව ද කියවුණු අතර, එකී ටී-ෂර්ට් මිල දී ගෙන ඇති බව සඳහන් වූයේ හාඩ්වෙයාර් එකකිනි!
යකඩ බඩු වෙළෙඳසලකින් මිල දී ගත් ටී-ෂර්ට් කවරාකාරයේ ඒවා දැයි අපි නොදනිමු. එහෙත්, කෝප් කමිටුව හමුවට ඉදිරිපත් වූ තොරතුරු අනුව හාඩ්වෙයාර් එකකින් නැති නම් යකඩ බඩු කඩයකින් ටී-ෂර්ට් මිල දී ගෙන තිබේ. ඉකුත් ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා මේ මුදල් අවභාවිත කොට ඇති බව සඳහන් වේ. දේශපාලනික බල වුවමනාව මත සිදු වූ ගනුදෙනුවලදී නිලධාරි පන්තිය අසරණ වන ආකාරයට මේ කදිම උදාහරණයකි. තමා වෙත ලැබුණු චෙක්පත්වලට ඉහළින් ආ නියෝග මත අත්සන් කළ බවත්, එහි නිරවද්‍යතාව පිළිබඳව තමා පරීක්ෂා නොකළ බවත් කෝප් කමිටුව හමුවේ එකී නිලධාරීහු සාක්ෂි දුන්හ.
තවත් මෙවැනි ආකාරයේ දූෂණ, වංචා, අක්‍රමිකතා රැසක් පිළිබඳ වාර්තා වෙමින් පවතී.
තරුණ සේවා සභාව පිහිටුවා ඇත්තේ තරුණයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙනි. නව යොවුන් වියේ තාරුණ්‍යය අපේක්‍ෂා භංගත්වයට පත්වීම නිසා වෙනත් විරෝධාකල්පිත දිශාවලට ගමන් කිරීම වැළැක්වීමේ අරමුණින් එය පිහිටුවූ බව සත්‍යයකි.
එහෙත් වර්තමානයේ එකී තාරුණ්‍යය වෙනුවෙන් වෙන් කළ මුදල් දේශපාලන ව්‍යාපෘති සඳහා වැයකොට ඇති බව හෙළිදරවු වෙමින් පවතී. Smart up ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් රුපියල් මිලියන 188ක චෙක්පත් නිකුත් කොට ඇත්තේ ඉකුත් ජනාධිපතිවරණයට පෙර දිනයේය. මේ ඕනෑම අර්බුද අවස්ථාවකදී රට භාර ගන්නවා යැයි පාරම්බාන, පළපුරුදු දේශපාලකයන් යැයි කියාගන්නා නායකයන්ගේ ක්‍රියාකාරකම්වල හැටිය. ඔවුන් රට බේරා ගන්නවා යැයි කියන්නේ මෙවන් ක්‍රියාකාරකම්වලට ය.
තරුණ සේවා සභාවේ මෙකී තනතුරු සඳහා පත් කරන ලද බොහෝ නිලධාරීන්ට ඒ සඳහා වන අවම සුදුසුකමක්වත් නොතිබූ බව ද හෙළිදරවු වෙමින් පවතී. දේශපාලනික අඳබාලයන් වූ ඔවුන් තමාට ඉහළින් ලැබෙන ඕනෑම නියෝගයකට හරි-වැරැද්ද පසෙක ලා අත්සන්කොට තිබේ.
වඩා කනගාටුදායක කාරණය නම්: රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබූ යුගයක, රටවැසියා පෝලිම්වල රස්තියාදු වෙමින් සිටි යුගයක, ජනතාව පිට බදු පිට බදු පටවා තිබූ යුගයක, රාජ්‍ය භාණ්ඩාගාරය පතුලටම සිඳී තිබුණු යුගයක මෙවැනි ආකාරයේ දූෂිත ගනුදෙනු සිදුවීම ය. ජනතාවට පටි තද කර ගන්නා ලෙස කියමින් පළපුරුදු දේශපාලකයන් ජනතා මුදල් සමඟ පාපන්දු ගැසූ ආකාරයට මෙය තවත් උදාහරණයක් පමණි.
අභව්‍ය සිදුවීමක් යන්නෙහි අදහස විශ්වාස කළ නොහැකි හෝ බලාපොරොත්තු නොවූ දෙයක් නැතිනම් නොපවතින හෝ පැවතිය නොහැකි දෙයක් යන්නයි. ඉහත කී කාරණයේ ‘හාඩ්වෙයාර්’ එකකින් නැතිනම් යකඩ බඩු කඩයකින් ටී-ෂර්ට් මිල දී ගැනීම ද එවැන්නකි. එය ඩේසි ආච්චිගේ මැණික් මල්ල හා සමපාත වන සිද්ධියකි. දේශපාලනික වශයෙන් ආන්දෝලනයට තුඩු දුන්, අයිතිකරුවකු නැති මල්වානේ ගෙය සහ කතරගම නිවාසය ද එවැනි අභව්‍ය සිදුවීම් වේ.
ගත වූ කාලය මුළුල්ලේ සිදු වූ මෙවැනි දේශපාලනික ගනුදෙනු, වංචා සාධාරණීකරණය කිරීමට තවත් මෙවැනි අභව්‍ය සිදුවීම් කරළියට පැමිණෙනු ඇත. ඒවා නීතිය ඉදිරියේ සාධාරණීකරණය වීමට ඉඩ නොදිය යුතු ය. මෙකී ජනතා මුදල් පිල්ලි ගැසුවේ කවුරුන්දැයි හෙළිදරවුකොට, ඔවුන්ට නීතිය හමුවේ දඬුවම් කිරීම අනිවාර්යයෙන් සිදු විය යුත්තකි.
රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ වගකීම පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවට ය. විශේෂයෙන් රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වන්නේ මහජන මුදලින් බැවින් ඒ පිළිබඳ සොයා බැලීමේ වගකීම පාර්ලිමේන්තුව හමුවේ වෙයි. කෝප් කමිටුව රාජ්‍ය ආයතන විගණනයට සහ ඒ පිළිබඳ සොයා බැලීමට නීත්‍යනුකූල පදනමක් මත මැදිහත් වන්නේ ඒ හේතුවෙනි.
මතභේදාත්මක හා මහා පරිමාණ ගනුදෙනු ධනයට සහ බලයට යටපත්ව සදාකාලික ලෙස සැඟව යෑමට ඉඩ නොදී, ඒවාට අදාළ නිසි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බලපෑම ඇති කිරීම සඳහා කෝප් කමිටුවෙන් ලැබෙන දායකත්වය අතිශය සුවිශේෂ ය.
මෙපමණ කාලයක් කෝප් කමිටුව විසින් කරන ලද විමර්ශනවලින් බොහෝ කාරණා සමාජය හමුවේ හෙළිදරවු වුව ද, ඒ පිළිබඳ නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගත් බවක් අපගේ මතකයේ නැත. එනිසා කෝප් කමිටුව ‘දත් ඇති නමුත් හපන්න බැරි’ තත්ත්වයකට නිර්මාණය කළේ ද දේශපාලනඥයන් ම ය. කෝප් කමිටු වාර්තා මඟින් හෙළිදරවු වූ කරුණු පිළිබඳ නීති මඟින් කටයුතු නොකිරීම ඊට හේතුවයි.
ඉකුත් පාලන සමයකදී මේ කමිටුවට පත් කරන ලද රංජිත් බණ්ඩාර නම් මහාචාර්යවරයා කෝප් කමිටුව හමුවේ සාක්ෂි දෙන අයට දුන් හස්ත මුද්‍රාව ඔවුන්ගේ පාක්ෂිකභාවය ප්‍රදර්ශනය කරන්නක් ම විය.
එහෙත් වරෙක කෝප් කමිටු සභාපතිවරයා ලෙස පත් වූ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා විසින් කරන ලද සමාජයීය හෙළිදරවු දැඩි ලෙස සමාජ අවධානයට ලක් විය. පසුගිය කාලයකදී කෝප් කමිටු සභාපති ධුරය රෝහිත අබේගුණවර්ධන නම් මන්ත්‍රීවරයාට පිරිනැමීම ‘හොරාගෙ අම්මාගෙන් පේන ඇසීමක්’ බඳු විය.
එහෙයින් මේ අවස්ථාවේ වර්තමාන කෝප් කමිටුවේ ක්‍රියාකාරිත්වය අගය කළ යුතු ය. ඒ පිළිබඳ කරන සමාජමය හෙළිදරවු කිරීම් හුදු ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සමත් විය යුත්තක් බවට ද පත්විය යුතු ය. එසේ නොවුණහොත් ඉදිරි රාජ්‍ය මූල්‍ය විගණන කටයුතු පිළිබඳ කරන හෙළිදරවු කිරීම්වලදී හාඩ්වෙයාර්වලින් ටී-ෂර්ට් මිල දී ගැනීම් පමණක් නො ව, දෙහිඅත්තකණ්ඩියේ වරායක් ඉදිකිරීමට මුදල් ගෙවීමක් පිළිබඳව වුව වාර්තා විය හැකි ය.
එබැවින් වර්තමානයේ රට බේරා ගැනීමට පෙරට එනවා යැයි කියන සහ ඕනෑම මොහොතක රට භාර ගැනීමට සූදානම් යැයි කියන දේශපාලකයන්ගේ අතීතයේ රාජ්‍ය මූල්‍ය භාවිතය පිළිබඳ සැලකිලිමත් විය යුතු අතර, ඔවුන්ගේ නීති විරෝධී ගනුදෙනු ඇති නම් ඒ පිළිබඳව ද නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව තිබේ.