Tuesday, April 22, 2025
Home » අප්‍රේල් මාසයේ දළදා ප්‍රදර්ශනයක් පවත්වන්න

අප්‍රේල් මාසයේ දළදා ප්‍රදර්ශනයක් පවත්වන්න

-ජනපතිගේ ඉල්ලීමට මල්වතු-අස්ගිරි මහානාහිමිවරුගේ එකඟත්වය

by sachintha
February 24, 2025 1:37 am 0 comment

ජනපති අනුර කුමාර දිසානායක මහතා කළ ඉල්ලීමකට අනුව මෙම වසරේ අප්‍රේල් මාසයේ දී දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම සහ දියවඩන නිලමේවරයා එකඟතාව පළ කර තිබේ.

ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව ජනපතිවරයා ඊයේ (23) පෙරවරුවේ මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ද අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ද බැහැදැක මෙම ඉල්ලීම කරනු ලැබීය.

මේ අනුව දළදා ප්‍රදර්ශනයක් මෙවර පැවැත්වෙන්නේ වසර 16කට පසුය. අවසන් වරට 2009 වසරේ දී දළදා ප්‍රදර්ශනයක් පැවැත්වුණු අතර එහි දී ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දළදා සමිඳුන් සියැසින් දැක බලා ගැනීමට මහනුවර පැමිණියහ.

මෙම වසරේ අප්‍රේල් මස 18 වැනිදා සිට 28 වැනිදා දක්වා දින දහයක කාලයක් දළදා ප්‍රදර්ශනය පැවැත්වීම සඳහා මේ වනවිට අවධානය යොමුව තිබේ.

මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ අවවාද අනුශාසනා මත දියවඩන නිලමේතුමන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන්, දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් දළදා ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතු සිදු කෙරෙනු ඇත.

ජනපතිවරයා මල්වතු මහානායක හිමියන් බැහැදුටු අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික හිමිවරුන් වන දොරණෑගම රතනපාල, තිබ්බටුවාවේ මේධංකර, මහවෙල රතනපාල යන හිමිවරු සහභාගි වූහ.

අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදුටු අවස්ථාවට එම පාර්ශ්වයේ අනුනායක හිමිවරු වන වේඬරුවේ උපාලි, ආණමඩුවේ ධම්මදස්සී, අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද, දළදා තේවාව භාර උරුලෑවත්තේ ධම්මරක්ඛිත, කාරක සංඝ සභික හිමිවරුන් වන ගොඩගම මංගල, මුරුද්දෙණියේ ධම්මරතන යන හිමිවරු ද සහභාගි වූහ.

මෙම අවස්ථාවට ඇමැති සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය ඇමැතිවරුන් වන හංසක විජේමුණි, ප්‍රසන්න ගුණසේන යන මහත්වරු ද සහභාගි වූහ.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT