Monday, April 21, 2025
Home » මූලික අනුගතවීමේ පාඨමාලාව සම්පූර්ණ කළ නාවික නිලධාරීන් පිරිසක් විසිර යයි

මූලික අනුගතවීමේ පාඨමාලාව සම්පූර්ණ කළ නාවික නිලධාරීන් පිරිසක් විසිර යයි

by chanaka
February 23, 2025 9:17 am 0 comment

මූලික අනුගතවීමේ පාඨමාලාව (වෛද්‍ය) 03/2024, සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් දොලොස් දෙනෙකු විසිරයාමේ උත්සවය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.

ඒ අනුව, සාර්ථකව පුහුණුව අවසන් කළ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 34 හා 35 වැනි බඳවාගැනීම් සහ 2022 ඉඳුරාම බඳවා ගැනීමට අයත් වෛද්‍ය අංශයේ නිලධාරීන් දොලොස් දෙනෙකු (12) නාවික හා සාගරික විද්‍යාපීඨයේ සරඹ පිටියේදී, සිය දෙමව්පියන්, උපදේශකයින් සහ පුහුණුවන නිලධාරීන් ඉදිරියේ මෙලෙස අභිමානවත් අයුරින් විසිර යෑම සිදු කෙරිණි.

එහිදී මූලික අනුගතවීමේ පාඨමාලාවේ දක්‍ෂතම නිලධාරියාට හිමි කුසලානය වැඩ බලන උප ලුතිනන් (වෛද්‍ය) විමුක්ති විජේසේකර විසින් හිමිකර ගැනීමට සමත්විය.

එහිදී අදහස් දැක්වූ නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් රොහාන් ජෝෂප්, විසිරයන නිලධාරීන් හට පළමුව සිය සුභ පැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, පුහුණුව සාර්ථකව සිදු කිරීම සඳහා සිදු කළ කැපවීම තුළින් වෘත්තීය නිපුණතාවය වැඩිදියුණු කර ගනිමින් ඉදිරියේදී නාවික හමුදාවේ කාර්යභාරය කාර්යක්‍ෂමව සහ පලදායී ලෙස ඉටු කිරීමට අධිෂ්ඨානශීලීව කැපවීම නාවික හමුදාව අපේක්‍ෂා කරන බව අවධාරණය කරන ලදී. එමෙන්ම, මව්බිම වෙනුවෙන් සේවය කිරීම සඳහා සිය දරුවන් නාවික හමුදාවට බැඳීමට දිරිමත් කළ ඔවුන්ගේ දෙමව්පියන් වෙතද එහිදී සිය කෘතඥතාවය පල කර සිටීමට රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් විසින් කටයුතු කෙරිණි.

තවද, මෙම විසිරයාමේ පෙලපාලිය නාවික හමුදා සංගීත කණ්ඩායමේ විචිත්‍රවත් සංදර්ශනයකින්ද වර්ණවත් වූ අතර, එම විසිරයාමේ උත්සවය සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් මෙන්ම විසිරයන නිලධාරීන්ගේ දෙමාපියන් ඇතුලු පිරිසක් සහභාගිවී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT