ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවතට ගිය දිමුත් කරුණාරත්න එස්එස්සී ක්‍රීඩා සමාජය වෙනුවෙන් සහභාගිවූ අවසන් අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගයේදී කඩුලු රකින්නා හැර කණ්ඩායමේ ක්‍රීඩකයින් 10ක්ම ඔහුගේ සමුගැනීමට ගෞරවය පිණිස පන්දු යැවීමේ යෙදෙති. එස්එස්සී හා එන්සීසී අතර මේට්ලන්ඩ් පෙදෙසේ පැවැති තරගයේ දෙවැනි ඉනිමේදී මෙලෙස දිමුත් ඇතුළු එස්එස්සී ක්‍රීඩකයෝ දස දෙනාම පන්දු යැවීමේ නිරත වූහ. එවැනි සිදුවීමක් ක්‍රිකට් තරගයකදී දක්නට ලැබීම දුර්ලභ අවස්ථාවකි.
දිමුත් කරුණාරත්න 2008 වසරේ සිට වසර 17ක කාලයක් අඛණ්ඩව එස්එස්සී ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ අතර, මෙම එස්එස්සී – එන්සීසී තරගය ඔහුගේ අවසන් ක්‍රීඩා සමාජ තරගය වූවේය. ආරම්භක වකවානුවේදී බොහෝදුරට මැද පෙළ පිතිකරුවෙකු වූ දිමුත් කරුණාරත්න තම මංගල තරගයේ පළමු ඉනිමේදී හලාවත මේරියන්ස් පිලට එරෙහිව ලකුණු 63ක් ලබා ගැනීමට සමත් විය. පළමු පෙළ තරග 218කදී ලකුණු 15871ක් ලබාගත් දිමුත් ශතක 47ක් හා අර්ධ ශතක 73ක් ලබා ගැනීමට සමත් විය.
මේ අතර, ශ්‍රී ලංකා එක්දින නායක චරිත් අසලංක, හිටපු නායකයින් වන දිමුත් කරුණාරත්න හා දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින් බහුතරයක් සිටියදී මෙවර අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියේදී එස්එස්සී පිල ‘ටියර් බී‘ කාණ්ඩයට ඇද වැටීම පිළිබඳ බොහෝදෙනකුගේ කතාබහට ලක්ව ඇත. වසර 126ක ඉතිහාසයක් ඇති එස්එස්සී පිල පළමු වරට දෙවැනි පෙළ ක්‍රිකට් තරගයට ලබන වසරේ සිට ක්‍රීඩා කළ යුතු වේ.
මේ පිළිබඳව එස්එස්සී ක්‍රිකට් සභාපති සමන්ත දොඩංවෙල මහතාගෙන් ‘දිනමිණ‘ කළ විමසුමකදී පැවැසූවේ ලබන වසරේ ‘ටියර් බී‘ ක්‍රීඩා කොට යළි ඉහළට පැමිණීම අපේක්ෂාව බවයි.
“ක්‍රීඩාවත් ජීවිතය වගේ. ජය පරාජයට හුරුවිය යුතුයි. ජීවිතය සාර්ථක වෙන්නේ නැඟීම් වැටීම් මේ සියල්ල තුළින්. බැස්මක් තිබුණාම නැග්මක් තියෙනවා. ඒ වගෙයි ක්‍රීඩාවත්. එස්එස්සී පිල ලබන වසරේ පහළට ගිහින් ගහලා යළි පළමු පෙළට ඇවිත් ශූරතාව දිනා ගන්නවා. ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රීඩා සමාජය ලෙස අපි ආදර්ශයක් දෙන්න අවශ්‍යයි. එස්එස්සී පිලේ ඉන්නේ සිංහයෝ බව අමතක කරන්න එපා“ සමන්ත දොඩංවෙල මහතා පැවැසීය.
එස්එස්සී පිල මෙවර අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියේදී තරග 8කට ක්‍රීඩා කොට ජයග්‍රහණයක්, පරාජ 2ක් හා ජය පරාජයෙන් තොර තරග 5ක් සමඟ ලකුණු 41.72ක් ලබා 8 වැනි ස්ථානයට පත් විය.