වවුනියාවේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයකු සිය නිවෙස ඉදිරිපිට පිහිටි ඇළ මාර්ගයක් අවහිර වන අන්දමට ගස් සිටුවා එම ගස්වල අස්වැන්න නෙළාගැනීම පිණිස දැල් වැටක් ඉදි කිරීමෙන් ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටින බවට බණ්ඩාරිකුලම ගොවි සංවිධානය ප්‍රකාශ කරයි.
එම ඉඩම බණ්ඩාරිකුලම ප්‍රදේශයේ පිහිටා ඇති අතර, එම ඉඩමට ඉදිරිපිටින් ගලා යන ඇළ මාර්ගයෙන් කුඹුරු අක්කර 65ක් පමණ අස්වද්දනු ලබන බව ගොවි සංවිධානය පවසා සිටියි. ප්‍රාදේශීය ලේකම්වරයා විසින් හිතුමතේට ඉදිකොට ඇති මෙම දැල් වැට සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් ඔවුන්ගේ විරෝධය පළකොට ඇතත් සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ගම්මුන්ගේ විරෝධතාව නොසැලකිල්ලට ගෙන ඔවුන්ට බැණ වදින බව ගම්වාසීහු පවසා සිටිති.
ඔහු මෙම දැල් වැට ඉවත් කිරීමට පියවර නොගතහොත් ඊට එරෙහිව විශාල විරෝධතාවයක් දියත් කිරීමට පළාතේ ගොවි සංවිධානය පියවර ගනිමින් සිටියි.
මේ පිළිබඳව සහකාර ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ තමන් කිසිදු ඉඩමක් අල්ලාගෙන නොමැති බවත් මාර්ගයේ එක් පසෙක සිටුවන ලද ගස් තරමක් විශාල වන තුරු දැල් වැටක් ඉදි කරන ලද්දේ එම ගස් සතුන් විසින් විනාශ කිරීමෙන් ආරක්ෂා කර ගැනීමට බවත්ය.
ගස් උස ගිය පසුව තමන් දැල් වැට ගලවා ඉවත් කිරීමට පියවර ගන්නා බවද සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.