Home » හසලක නිවෙසක දර මඩුවක ජීව උණ්ඩ තොගයක්

හසලක නිවෙසක දර මඩුවක ජීව උණ්ඩ තොගයක්

කුඩා දරුවා උණ්ඩ ළිපට දමා පුපුරවලා

by mahesh
February 21, 2025 1:00 am 0 comment

මාපාකඩවැව සමූහ - එච්.එම්. රංජිත් කරුණාවීර

හසලක පොලිස් බලප්‍රදේශයට අයත් 07 ඇළ ප්‍රදේශයේ පෙරේදා (19) සවස දරුවකු තම නිවෙසේ ළිපට යමක් දමා පුපුරා ගිය අවස්ථාවේදී එම ශබ්දය ඇසී ඔහුගේ මවුපියන් ඒ පිළිබඳව විමසීමේදී “තවත් මේවා තියෙනවා” යැයි පවසා ජීව පතරොම් කිහිපයක් පෙන්වා ඇත. කඩිනමින් මවුපියන් ඒ පිළිබඳ හසලක පොලීසිය දැනුම්වත් කිරීමෙන් පසුව පොලීසිය පැමිණ දරුවාගෙන් කරුණු විමසා ඇත. එහිදී පොලීසියට අනාවරණය වී ඇත්තේ මෙම දරුවාට යහළුවන් පිරිසක් එම ජීව උණ්ඩ ලබාදී ඇති බවටයි. ළිපට දැමූ ජීව උණ්ඩ පිපිරීමෙන් කිසිවකුට ශාරීරික හානි සිදුව නොමැත.

ඒ අනුව උණ්ඩ ලබාදුන්නා යැයි පැවසෙන දරුවා ඇතුළු අනෙකුත් දරුවන් කැඳවා ප්‍රශ්න කිරීමේදී නිවෙසක පිටුපස තිබී තවත් උණ්ඩ කිහිපයක්ද පොලීසියට සොයාගැනීමට හැකිව ඇත.

උණ්ඩ ලබාදුන්නා යැයි පැවසෙන දරුවාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ, අසල නිවෙසක දර මඩුවේ තිබී තමන්ට මේවා හමු වූ බවත් යහළුවන් හට එම උණ්ඩ සෙල්ලම් කිරීම සඳහා බෙදා දුන් බවත්ය.

ඒ අනුව හසලක පොලීසිය යුද හමුදාව සහ සොකෝ නිලධාරින් කැඳවා උණ්ඩ හමු වූයේ යැයි කී නිවෙස දැඩි ලෙස පරීක්ෂාවට ලක් කළත් සැකකටයුතු වෙනත් කිසිවක් නිවෙසින් සොයා ගැනීමට නොහැකි විය. මෙම නිවසේ යුද හමුදාවේ සේවයේ නියුතු පුද්ගලයකු ද බිරිය දරුවන් සමඟ පදිංචිව සිටිති.

ජීව උණ්ඩ ළඟ තබාගත් දරුවන්ගේ නිවාසද පොලීසිය සහ යුද හමුදාව පරීක්ෂාවට ලක් කළ ද වෙනත් සැක කටයුතු කිසිවක් සොයාගැනීමට නොහැකි විය.

ජීව උණ්ඩ නිවෙසේ දර මඩුව වෙත පැමිණි ආකාරය පිළිබඳව වැඩි දුර පරීක්ෂණ හා විමර්ශන කටයුතු හසලක පොලීසිය විසින් සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT