වේයන්ගොඩ ආහාර ගබඩා සංකීර්ණය හා විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අතරමැදි කැලෑබද කොටසේ පෙරේදා (19) පස්වරුවේ ඇතිවූ ගින්න වේයන්ගොඩ පොලීසිය සහ යුද හමුදා කඳවුරේ නිලධාරීන් එක්ව මැඬපවත්වා තිබේ.
ගින්න සැලවීමත් සමඟ වේයන්ගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගන මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සහ වේයන්ගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන් වහා එම ස්ථානයට පැමිණ මහත් පරිශ්‍රමයක් දරා ගින්න නිවා දැමීමට කටයුතු කෙරිණි. ගින්න ඇති වූ ස්ථානයට ආසන්නයේම ආහාර ගබඩා කර ඇති ගබඩා සංකීර්ණ කිහිපයක්ම පිහිටා තිබෙන අතර, ආර්ථික මධ්‍යස්ථානයට යාබදව යුද හමුදා කඳවුර ද පිහිටා තිබෙන බැවින් ගින්න ව්‍යාප්ත වූවා නම් මහත් විනාශයක් සිදු වීමට ඉඩ තිබිණි.
ලෝක ආහාර වැඩසටහන යටතේ ජනතාවට හා පාසල් දරුවන්ට බෙදාදීම සඳහා ගෙනැවිත් තිබියදී පසුගියදා මහත් ආන්දෝලනයට ලක්වූ නරක් වී ඇති පරිප්පු සහ රටඉඳි කිලෝ ලක්ෂ 15ක් මෙම ගින්න ඇතිවූ ස්ථානයට යාබදව පිහිටි ගබඩා සංකීර්ණවල මේ වන විටත් පවතී. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.