Monday, April 21, 2025
Home » මොරටු සිසුවාට පිහියක් පෙන්වා බයකර ඒ.ටී.එම්. එකෙන් සල්ලි අරන්

මොරටු සිසුවාට පිහියක් පෙන්වා බයකර ඒ.ටී.එම්. එකෙන් සල්ලි අරන්

by mahesh
February 21, 2025 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුවකුට උල් පිහියක් පෙන්වා බියකර කප්පම් මුදල් ලබා ගත් පුද්ගලයකු බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන් ලබා දුන් තොරතුරක් අනුව මොරටුව ප්‍රධාන බස් නැවතුම්පොළේදී අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලීසිය පැවසීය.

සිසු‍ෙවකු ඉකුත් 4 වැනි දින අවශ්‍යතාවක් සඳහා කටුබැද්ද නගරය වෙත පැමිණි අවස්ථාවේදී ඔහු අසලට පැමිණි පුද්ගලයකු තම හාම්පුතාගේ පුත්‍රයාට විශ්වවිද්‍යාලයේදී කිසියම් පිරිසක් පහර දී ඇති බවත්, එම පිරිස සොයන බවත් පවසා සිසුවා වෙත උල් පිහියක් පෙන්වා බියට පත්කර තිබේ. අනතුරුව ආසන්නයේ නවතා තිබූ ත්‍රිරෝද රියක් පෙන්වා පවසා ඇත්තේ එහි තමන්ගේ පිරිසක් සිටින බවයි. පොලීසිය පැවසුවේ ඉන් පසු සිසුවා සතුව ක්‍රෙඩිට් කාඩ් තිබෙනවාදැයි විමසා ඇති එම පුද්ගලයා සිසුවාව රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. කුටියකට රැගෙන ගොස් රුපියල් 47,000ක මුදලක් බලහත්කාරයෙන් ලබාගෙන තිබූ බවයි.

සිසුවාව බියට පත් කර රැගෙන යන අයුරු සී.සී.ටී.වී. කැමරාවක ද සටහන්ව ඇතැයි පොලීසිය පැවසීය. සිසුවා කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මේ ආකාරයේ තවත් පැමිණිල්ලක් ලැබී ඇති බවද පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු 51 හැවිරිදි හෝමාගම, උඩවන, කැකුණගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් පැන්සිස් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 26099 නවරත්න මහතා විසින් ගල්කිස්ස පොලිස් කොට්ඨාසයට අනුයුක්ත බුද්ධි නිලධාරීන් වන පොලිස් සැරයන්වරුන් වන 50043 අජිත්, 64121 නිශාන්ත, 4853 චන්දන, හා කොස්තාපල් 86588 සඳමාල් යන මහත්වරුන් ලබා දුන් තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT