Monday, April 21, 2025
Home » රටපුරා තිබූ උළු කම්හල් 600න් 400ක්ම වැහිලා

රටපුරා තිබූ උළු කම්හල් 600න් 400ක්ම වැහිලා

කැණීම් බලපත් සීමා කිරීමත් මැටි මිල අධික වීමත් හේතුවක්

by mahesh
February 21, 2025 1:00 am 0 comment

පන්නල සමූහ - එච්.ඩී. හේවගේ

ඉන්දියාවේ කල්කටා ප්‍රදේශයේදී 1865 වර්ෂයේදී නිෂ්පාදනය කිරීමෙන් පසු මෙරටට ආනයනය කර ඇති මෙම මැටි ආශ්‍රිත සෙවිලි උළු සියවස් ගණනාවකට හිමිකම් කියන බවට ඉතිහාස තොරතුරුවලින් අනාවරණය වී ඇත.

ශරීර සෞඛ්‍යයට හිතකර මෙම මැටි ආශ්‍රිත සෙවිලි උළු මහනුවර, පොලොන්නරුව, අනුරාධපුර ආදී යුගවල සිට පැවත එන අතර ඒවා වෙනුවට විදේශීය රටවලින් වෙනත් විවිධ ආදේශක සෙවිලි වර්ග ආනයනය කිරීම සහ පැවති රජයන් විසින් ඒ ඒ කාලවලදී ගනු ලැබූ තීන්දු තීරණ නිසා මෙරට උළු කර්මාන්තය කඩා වැටීමේ තර්ජනයට මුහුණ දීමට සිදුවිය.

පාරම්පරික කර්මාන්තයක් ලෙස දිවයින පුරා ව්‍යාප්තව තිබූ 600කට ආසන්න මෙම උළු කර්මාන්ත ශාලා ප්‍රමාණය පසුකාලීනව ක්‍රම ක්‍රමයෙන් වැසී යාමත් සමඟ එය අද වන විට 200ත් 225ත් අතර ප්‍රමාණයකට අඩුවී ඇති බව දත්ත තොරතුරුවලින් අනාවරණය වී තිබේ.

පුත්තලම් දිස්ත්‍රික්කයේ වෙන්නපුව මැතිවරණ බලප්‍රදේශයේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන මැතිවරණ බලප්‍රදේශයේ මෙම මහා පරිමාණ උළු කර්මාන්ත ශාලා බොහොමයක් ස්ථාපිත කර ඇත.

මෙම උළු කර්මාන්ත ශාලා බොහොමයක් අතුරින් අද වන විට ඉතිරිව ඇත්තේ කිහිපයක් පමණක් බව සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බැක්ටිස් ප්‍රනාන්දු මහතා පැවසූ අතර වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.

පසුගිය වසරේ පැවතුණේ වර්ෂාව අධික දේශගුණික තත්ත්වයක්. ඒ කාල සීමාව තුළ අපි එක්රැස් කරගෙන හිටිය සියලු ඛනිජ (මැටි) ඉවර වුණා. උළු නිෂ්පාදනයට අවශ්‍ය මැටි අපි ගබඩා කරලා තියාගන්නේ වියළි කාලගුණික තත්ත්වයක් පවතින අවස්ථාවේ. ඒවා වර්ෂාව පවතින කාල සීමාවේදී නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා. දැන් මේ වියළි කාලගුණික තත්ත්වයක් ආරම්භ වුණාට අපිට අවශ්‍ය ඛනිජ ලබා ගැනීමේ අපහසුතාවයක් පවතිනවා. මොකද රජය විසින් මේ වෙද්දි මැටි කැණීමේ බලපත්‍ර සීමා කරලා නිසා. මැටි කියුබ් එකක මිල අධික නිසා විශාල වශයෙන් මැටි ගබඩා කරගන්න කර්මාන්තකරුවන් ළඟ මුදල් නැහැ. බොහෝ විට මාස දෙක තුනකට අවශ්‍ය මැටි තමයි එකතු කරගන්නේ. ඒ නිසා අද වෙද්දි උළු නිෂ්පාදනයට අවශ්‍ය මැටිවල විශාල හිඟයක් පවතිනවා. කර්මාන්තකරුවන් විදිහට අපි රජයෙන් හා භූවිද්‍යා හා පතල් කාර්යාංශයෙන් ඉල්ලන්නේ විධිමත් ක්‍රමවේදයක් යටතේ මේ වියළි කාලගුණික තත්ත්වය පවතින අවස්ථාවේ කඩිනමින් කැණීම් බලපත්‍ර ලබා දෙන්න කියලා.

අපි පසුගිය දෙසැම්බර් මාසයේ කර්මාන්ත අමාත්‍යවරයාව මුණගැහිලා අපේ කර්මාන්තය ගැන තියෙන ගැටලු ඉදිරිපත් කළා. එතුමා කිවුවා මාස හයක් ඇතුළත අපේ ගැටලු නිරාකරණය කරලා දෙනවා කියලා. ඒ විශ්වාසය ඇතිව අපි සිටිනවා. විශේෂයෙන් අපි ඒ අවස්ථාවේ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා රජයේ අලුතෙන් ඉදිකරන නිවාසවලට සහ ගොඩනැඟිලිවලට සියයට සියයක් දේශීය නිෂ්පාදනයක් වන, ශරීර සෞඛ්‍යයට හිතකර, මැටි ආශ්‍රිත සෙවිලි උළු යොදා ගන්න කියලා.

සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් ජෝන්ස් ඇක්වයිනාස් ප්‍රනාන්දු මහතා තම කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් මෙසේ පැවසීය.

විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමඟ තරගකාරී සෙවිලි වර්ග අපේ රටට ආවා. ඒ සෙවිලි වර්ගවලට ලැබෙන ලාභය වැඩියි. ඒ ලාභය ඔවුන් පාරිභෝගිකයන් ග්‍රහණය කරගන්න වෙළඳ ප්‍රචාර කටයුතු සඳහා යොදා ගත්තා. ඒ හරහා සැලකිය යුතු පාරිභෝගිකයන් පිරිසක් ඒ ආදේශක සෙවිලි භාවිතයට යොමු වුණා. එවන් තත්ත්වයක් තුළ වෙළඳපොළ සීමා වීම නිසා උළු අලෙවිය අඩුවීම නිසාත් කර්මාන්තකරුවන් පාඩු ලැබීම නිසාත් 600ක්ව තිබුණු උළු කර්මාන්ත ශාලා ප්‍රමාණය 200කට අඩුවෙලා තියෙනවා. ඕක තමයි යථාර්ථය. ඒක නිසා රජයට අපි කියන්නේ නැවත කර්මාන්ත ශාලා ආරම්භ කරනවා වෙනුවට මේ තියෙන උළු කර්මාන්ත ශාලා ටිකවත් ආරක්ෂා කරගන්න ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා.

උළු කම්හල් හිමියෙකු වන රුක්මන් ප්‍රනාන්දු මහතාද අදහස් දක්වමින් මෙසේ පැවසීය. අපේ මේ උළු කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑමේදී මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි සේවකයන්ගේ හිඟකම. අද වන විට පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය විශාල ලෙස නිෂ්පාදනයට බලපාලා තියෙනවා. ඉස්සර අපේ ළඟ සේවකයෝ එකසිය පනහක් විතර වැඩ කළා. අද අපේ ළඟ ඉන්නේ සේවකයන් පහළොවකටත් අඩු ගාණක්. පුහුණු ශ්‍රමිකයන් නොමැතිකම අපේ කර්මාන්තයට විශාල පාඩුවක්. ඒ සියලු බාධක මැද තමයි අපි මේ කර්මාන්තය කරගෙන යන්නේ. දුෂ්කරතා රැසක් මැද පවත්වාගෙන යන මේ උළු කර්මාන්තය ආරක්ෂා කරගන්න රජයේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT