Home » ආණ්ඩුව කියන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමක් තිබෙන තැනක්

ආණ්ඩුව කියන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමක් තිබෙන තැනක්

පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ ලේකම්, නීතිඥ අතුල ද සිල්වා

by mahesh
February 21, 2025 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු තිබෙන බවට වත්මන් රජය පිළිගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ අතුල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ආරක්ෂා කළ යුතු තැන් හා පුද්ගලයන් සම්බන්ධයෙන් නිසි ඇගැයීමක් රජය මඟින් වහාම කළ යුතු බව පෙන්වා දෙන ඒ මහතා එසේ ඇගැයීමක් කොට අවශ්‍ය ආකාරයට ආරක්ෂාව දිය යුතු බව ද එම ආරක්ෂාව නිසි ප්‍රමිතියකින් අධ්‍යයනය කොට අවශ්‍ය ප්‍රමාණයට දිය යුතු බව ද කියා සිටියි. ඒ මහතා මේ බව සඳහන් කළේ බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අතුල ද සිල්වා මහතා:- “ඊයේ දිනයේ සිදුවූ විශේෂ සිදුවීමක් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කරනවා. නීතිඥ සංගමයේ නිලවරණය ඊයේ පැවැත්වුණා. විවිධ අධිකරණවල නීතිඥවරුන් තම සංගමයේ සභාපතිවරයා පත්කරගන්න ඡන්දය පාවිච්චි කරනවා. මේ ඡන්දය පාවිච්චි කරන දිනයේ කොළඹ අධිකරණවලට විශාල පිරිසක් පැමිණෙනවා. නමුත් මේ සියලු කාරණා තිබියදී ලංකා ඉතිහාසයේ පළමුවරට අධිකරණ පරිශ්‍රයකදී විත්ති කූඩුව තුළ චුදිතයකු මියයනවා. විත්ති කූඩුවට නඟිනකෙනාට අධිකරණ භූමිය තුළදී වෙඩි තබා ඝාතනය කරනවා. ඒ අනුව මේ රටේ ආරක්ෂාව ගොස් තිබෙන්නේ කොතැනට ද? මේ රටේ අධිකරණය තුළ යුක්තිය පසිඳලීමේ කාර්යය කරන්න ආරක්ෂාව දීමට හැකියාව ලැබී තිබෙනවා ද? මෙය අද වනවිට ප්‍රශ්නගත කාර්යයක් බවට පත්ව තිබෙනවා. මේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙන බවට රජය පිළිගත යුතු වෙනවා. ආරක්ෂාව අවශ්‍ය පිරිසට ආරක්ෂාව දීමේ වගකීමක් ආණ්ඩුවට තිබෙනවා. ඕනෑම රටක ආණ්ඩුව කියන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමක් තිබෙන තැනක්. ඉතාම ඉහළ ප්‍රභූ පුද්ගලයාගේ සිට සියලු දෙනාටම ආරක්ෂාව සැලසීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවටයි. ඒ අනුව මේ රජය ආරක්ෂාව සැලසීමේ කාර්ය සම්බන්ධයෙන් දුර්වල තත්ත්වයකට ගමන් කරමින් ඉන්නවා. මෙය සරලව ගතහැකි කාරණයක් නොවෙයි. මේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු තිබෙන බවට පිළිගතයුතු වෙනවා. නිහතමානීව එය පිළිගන්නේ නැතිනම් මේ සඳහා විසඳුම් සෙවිය නොහැකි වෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පමණක් නොවෙයි මේ කතා කරන්නේ.” යැයි පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT