Home » සමන් දේවාලයේ නිලවරණය අත්හිටවූ අතුරු තහනම මැයි 15 දක්වා

සමන් දේවාලයේ නිලවරණය අත්හිටවූ අතුරු තහනම මැයි 15 දක්වා

by mahesh
February 21, 2025 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාගැනීමට ඉකුත් 11 වැනිදා පැවැත් වීමට නියමිතව තිබූ නිලවරණය අත්හිටුවමින් නිකුත්කර තිබූ අතුරු තහනම් නියෝගය මැයි මස 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (20) තීරණය කළේය.

නිලවරණය පැවැත් වීමට එරෙහිව එම දේවාලයේ තාවකාලික භාරකරු ලෙස පත්කර සිටි එස්.වී. චන්ද්‍රසිංහ මහතා විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී මෙම අතුරු තහනම් නියෝගය දීර්ඝ කරන ලදි.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ අභියාචනාධිකරණ විනිසුරු කේ.එම්.එස්. දිසානායක මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි.

පෙත්සමට එරෙහි විරෝධතා මාර්තු මස 14 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයට නියම කෙරිණි. ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා මාර්තු මස 26 වැනිදාට පෙර ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට නියම කෙරිණි.

තමන් සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස පත්කිරීමට එරෙහිව රිට් පෙත්සමක් ගොනුකර තිබූ බව මෙම පෙත්සම්කරු විසින් පෙන්වා දී තිබිණි. එම දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා වන නිලවරණය ඉකුත් 11දා පැවැත් වීමට නියමිතව තිබූ බව ද එහිදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් තමන් වළක්වාලමින් අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේ දී අභියාචනාධිකරණය මඟින් අතුරු නියෝගයක් නිකුත් කර තිබූ බව ද පෙත්සම්කරු පවසයි.

ඉදිරියේ දී පැවැත්වෙන පෙත්සම් විභාගයේ දී තමන්ව එම දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කිරීමට ගත් තීරණය නීත්‍යනුකූල බවට තීන්දුවක් ලැබුණහොත් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත නිලවරණයේ දී තමාට ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථාව අහිමි කිරීම තුළින් දැඩි අසාධාරණයක් සිදු වන බවට පෙත්සම්කරු විසින් පෙන්වා දී තිබිණි.

සබරගමුව මහ සමන් දේවාලයේ භාරකරු වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව එම තනතුරු අහෝසි කිරීමට වග උත්තරකරුවන් කටයුතු කර තිබෙන බවත් එය නීතියට පටහැණි බවත් පෙත්සම්කරු පෙත්සම මඟින් පෙන්වා දී ඇත.

එහිදී ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් අදාළ අතුරු තහනම් ඊයේ (20) වන තෙක් බල පවත්වන පරිදි පසුගියදා නිකුත් කළේය.

නීතිඥ සම්පත් යාලේවත්ත මහතා මඟින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවෝ ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.පී. රත්නායක, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති හිනිදුම සුනිල් සෙනෙවි, එම අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, හිටපු බස්නායක නිලමේ ජේ.එම්. මිගාර ජයසුන්දර ඇතුළු පිරිසක් නම් කර සිටිති.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ චාමර නානායක්කාරවසම් මහතා පෙනී සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT