ආර්. ආර්. සමරකෝන් නාට්‍යවේදියාගේ ‘කැලණි පාලම’ පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එදිරිවීර සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී සාර්ථක ලෙස වේදිකාගත විය.
නාට්‍ය ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ‘University Explorers Club’ සංගමය විසිනි. ලාංකේය සිංහල වේදිකා නාට්‍ය කලාවේ අග්‍රගණ්‍ය කෘතියක් ලෙස සැලකෙන ‘කැලණි පාලම’ ප්‍රථමයෙන්ම තිරගත වූයේ 1978 වසරේදී ය. නාට්‍යයේ ප්‍රදර්ශන ඉතිහාසය සම්බන්ධයෙන් විමසා බලනවිට නාට්‍යයට වයස අවුරුදු 47ක් සපිරේ. වසර 47ක් පුරා ප්‍රේක්ෂකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් වූ මෙවැනි සාරගර්භ නාට්‍යයක් වත්මන් පරම්පරාව වැලඳ ගැනීම අතිශය වැදගත්ය. ආර්. ආර්. සමරකෝන්ගේ ප්රශස්ත තිර පිටපත සහ ආඛ්යානරූපී දෙබස් රචනය නිසාම ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් වර්තමානය දක්වා පවතී. නාට්‍ය පුරා ශ්ලේෂාර්ථයන්ගෙන් යුතු සංවාද හෙවත් දෙපිට කැපෙන දෙබස් නිසා ම නාට්‍යයෙන් මවන උපහාසය සහ උත්ප්රාසය ද ප්‍රේක්ෂකයාට ගෙන දෙන්නේ ප්රහර්ෂයක්. ප්‍රේක්ෂකයා යථාර්ථය වෙතට සමීප කරන්නට තැත දරන නාට්‍යයේ තිර පිටපත විසින් ජන වහරේ පවතින දෙබස්වලින් නිර්ධන පන්තියේ ජීවන අරගලය, සූරාකෑම, නිලධාරිවාදය පිළිබඳ දෘෂ්ටිවාද ඉස්මතු වෙයි. නාට්‍යයෙහි පසුබිම් සංගීතයක් භාවිත නොවේ. එය සමරකෝන් නාට්‍යවේදියාගේ නාට්‍යය භාවිතාව තුළ ඇති ප්‍රධාන ලක්ෂණයකි.

ආර්. ආර්. සමරකෝන්
ආර්. ආර්. සමරකෝන් විසින් අධ්‍යක්ෂණය කළ ‘කැලණි පාලම’ මුල් කෘතියේ සිටි ප්‍රතිභාපූර්ණ නළු නිළි කැලම වර්තමාන කැලණි පාලම නාට්‍යයෙහි දක්නට නොලැබේ. නීල් අලස්, රම්‍යා වනිගසේකර, ජේ. එච්. ජයවර්ධන, ගීතා කාන්ති ජයකොඩි, සිරිල් ධර්මවර්ධන, මැණිකේ අත්තනායක, එල්සන් දිවිතුරගම, පද්මිණි දිවිතුරගම, වික්‍රම බෝගොඩ ආදී කැලණි පාලමේ මුල් නිෂ්පාදනයේ දී දක්නට ලැබුණු නළු නිළියන් විසින් මැටිල්ඩා, මැම්බර් මහත්තයා, චුට්ටේ, රූපවතී, සරණපාල, සුරංගනී වැනි සිත්ගන්නා චරිත නිරූපණයෙහිලා යථාර්ථවාදී වූහ. එම නළු නිළියන්ගෙන් බොහෝ ප්‍රමාණයක් මේ වනවිට දිවි සැරියට සමු දී ඇත. වර්තමානයේ එම නළු නිළි පිරිස වෙනුවට ප්රසන්ජිත් අබේසූරිය, සමන්ත කුමාර ගමගේ, දිමුතු චින්තක දේවප්‍රිය ආදී නවක නළු නිළියන් රැසක් චරිත සඳහා පණ පොවයි. නාට්‍ය තුළින් මවන පරිසරයත්, ඒ ආශ්රිත බැඳුණු ආඛ්‍යානයත් ප්‍රේක්ෂකයා හෝරා කිහිපයකට අත්අඩංගුවට පත් වීම වැළැක්විය නොහැකි කාරණාවක් බවට පත් වේ.
නාට්‍යයේ කාල අවකාශය බවට පත්වන්නේ 70-78 සිරිමාවෝ බණ්ඩාරනායකගේ අවධියයි. කොළඹ නාගරික පරිසරයේ වෙසෙන එක් දුගී දුප්පත් ප්‍රජාවගේ සිදුවීම් දාමයක් වටා නාට්‍යය ගෙතී ඇත. කැලණි ගඟ දෙපස සිටින කීර කොටුවල ජීවත්වන මිනිසුන් ගඟ පිටාර ගැලූ පසු පාලම උඩට පැමිණ තාවකාලිකව පැල්පත් සාදා ගනී. රජයේ නිලධාරීන්ගේ සූරාකෑමට මෙම ජනතාව ගොදුරු වෙයි. එක් පසෙකින් පිය – පුතු අරගලය ද කියැවෙයි. කැලණි පාලම නාට්‍යය රචනා වීමට පසුබිම් වූ කතාවක් තිබේ. ආර්.ආර්. සමරකෝන් මහ වැසි ඇදවැටෙන දිනයක කිරිබත්ගොඩ නගරයට යෑම සඳහා ගල්කිස්සෙන් බස් රියකට ගොඩ වෙයි.
කැලණි පාලම අසල දී ඔහුට දක්නට ලැබෙන්නේ ඛේදාන්විත දර්ශනයකි. පාලම දෙපස රැඳ වූ පොල් අතු කූඩාරම් ඔහු දකී. එම පොල් අතුවලින් හෙවණ වූ කූඩාරම්වල සිටින්නේ කීර කොටුවල පදිංචි වී සිටි අය බවත් ගංවතුර ගැලීම හේතුවෙන් පාලම උඩට පැමිණ සිටින බවත් ඔහු දකී. ඒ අනුව ‘කැලණි පාලම’ නාට්‍යය පණ ලබන්නේ සමරකෝන් විසින් දුටු සත්‍ය සිදුවීම් දාමයක් ඇසුරු කරගනිමිනි. නාට්‍යවේදියාගේ ස්වතන්ත්‍ර බව ඉස්මතු වී ඇත්තේ ඔහු දුටු මෙම යථාර්ථවාදී දෘෂ්ටිය නිසාය. නාට්‍යානුසාරී බවින් පොහොසත් වූ ‘කැලණි පාලම’ වැනි ලෝක ධර්මී ශෛලියේ නාට්‍යයක ඇති වැදගත්කම සහ එහි අන්තර්ගතය විසින් මතු කරන සමාජ අර්බුදය කාලෝචිතය.
මලින්ත විතානගේ