Tuesday, April 22, 2025
Home » ආදරයට වයස් සීමාවක් නෑ

ආදරයට වයස් සීමාවක් නෑ

69 න් කියන්නෙත් ඒකයි

by mahesh
February 21, 2025 1:00 am 0 comment

– ප්‍රවීණ රංගධර ක්ලීටස් මෙන්ඩිස්

තම විශිෂ්ට රංගනය වෙනුවෙන් සරසවි, ඕසීඅයිසී, රයිගම් සහ ජනාධිපති ආදී සම්මාන රැසකින් පිදුම් ලැබූ ප්‍රවීණ රංගධර ක්ලීටස් මෙන්ඩිස් මහතා සමඟ කළ සුහද කතාබහකි, මේ

මේ දවස්වල කාලය ගෙවෙන්නේ කොහොමද ?

සුපුරුදු පරිදි මේ දවස්වලත් චිත්‍රපටයකට සහ ටෙලි නාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙලා වැඩ කරනවා.

පසුගිය 14 වැනිදා තිරගතවූ ’69’ නම් වූ අලුත්ම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වෙන්න ඔබට අවස්ථාව ලැබුණා. ඒ ගැන කතා කරමු. ?

’69’ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූයේ යූ. ඒ. පල්ලියගුරු මහතා. අධ්‍යක්ෂණය වින්ධ්‍යා හාරිස්පත්තුවගේ. අධ්‍යක්ෂවරියගේ පළමු චිත්‍රපටය මේ. ඇය මීට පෙර කෙටි චිත්‍රපට නිර්මාණය කර සම්මාන ගත් කෙනෙක්. පල්ලියගුරු මහත්තයා තමා මේ චිත්‍රපටයට මට කතා කළේ. පස්සෙ චරිතය ගැන හිතලා, කරනවා ද නොකරනවා ද කියලා හිතලා සම්බන්ධ වුණා. පල්ලියගුරු මහත්තයා කිව්වා, මේකෙන් කියවෙන්නේ කාටත් පොදු තත්ත්වයක් කියලා. අපේ රටේ විතරක් නෙමේ, ලෝකයේ ඕනෑම රටක ජීවත් වෙන කෙනකු වුවත් මේ තත්ත්වයට පත් වෙනවා. ආදරයට වයස් සීමාවක් නෑ. මේ ඔක්කොම ගැන හිතලා චරිතය කරන්න භාරගත්තා.

ඇත්තටම මේක හොඳ නිර්මාණයක්. ’69’ කිව්වාම බොහෝ දෙනෙක් වෙන අදහසක් හිතනවා. එහෙම දෙයක් මෙතැන නෑ. මෙතැන තියෙන්නේ හොඳ පැත්තෙන් දකින ආදරයක්.

මේ චිත්‍රපටයේ හැටියට මගේ චරිතය ජනප්‍රිය, සුන්දර, දෘෂ්ට නළුවෙක්. නමුත් වයසට ගියාම ඔහුට චිත්‍රපටවලට ඇරයුම් ලැබෙන්නේ නෑ. ඔහු ගැන කිසිම මාධ්‍යයකින් කතා කරන්නේ නෑ. ඒ හින්දාම ඔහුට පොඩි පොඩි කලකිරීම් ඇති වෙනවා. නමුත් මුදල් අතින් ඔහුට අඩුපාඩුවක් නෑ. එයාගේ දරුවොත් දේපළ අයිති කරගැනීම වෙනුවෙන් කටයුතු කරනවා. ඒ පැත්තෙනුත් ඔහුට සහනයක් ලැබෙන්නේ නෑ. මේ සියල්ලත් එක්ක ඔහු දුකෙන් තමා කාලය ගෙවන්නේ. ඔය අතරේ හිතවතියක් ඔහුට ළං වෙනවා.

පුද්ගලයකු මනසින් දුර්වල වෙනකොට කායිකවත් දුර්වල තත්ත්වයට පත්වෙනවා. ඒ වගේ මොහුත් දුර්වල තත්ත්වයට පත්වෙනවා. ඔහු පුරුද්දට ව්‍යායාම කරන්නට පටන් ගන්නවා. එසේ සිදු කිරීමේදී කායිකව දැනෙන වෙහෙස වැඩියි. ඔහු හිතනවා, තමන් හඳුනන කවුරුන් හෝ අද හමුවෙයි, හෙට හමුවෙයි කියලා. එහෙම ඉන්නකොට තමා විශ්වවිද්‍යාල ළමයෙක් එන්නේ ප්‍රවීණ කලාකරුවකු හැටියට ඔහු ගැන විශේෂාංග ලිපියක් කරන්න. එතැනදී ඔහුගේ සැබෑ ජීවිතය ගැන කියනවා. එහිදී ඒ ළමයාට ඔහුගේ ගතිගුණත් එක්ක ආදරයක් ඇතිවෙනවා. නමුත් ඔහු ඒක දැන ගන්නේ අන්තිමට. ඔහු බලන්න කෑම හදාගෙන එනවා. ඒ හැසිරීම් යම්කිසි විදියකින් දැනෙන කාරණා බවට පත්වෙනවා. ඒත් එක්ක ජීවිතයේ වෙනසක් දැනෙනවා. නැවත සුපුරුදු පරිදි ව්‍යායාම කරන්න පටන් ගන්නවා. ඒ තුළින් මනස නැවතත් හැදෙනවා. ඔය වෙනස්වීම් එක්ක ඒ ළමයා කෙරෙහි ආදරයක් ඔහුටත් ඇති වෙනවා.

නමුත් එතැනදී කිසි කෙනකුට වරදක් සිදු වන්නේ නෑ. ඒ වෙනකොට ඔහුගේ බිරිය ජීවතුන් අතර නෑ. දරුවෝ විතරයි හිටියේ. ඔවුනුත් දේපළ වෙනුවෙන් අර්බුද ඇති කර ගන්නවා. දරුවෝ ඔහු ළඟ තියෙන සල්ලි නිතරම සූරාගෙන කන්න බලනවා. ඔය වාතාවරණයත් එක්ක තමා මේ චරිතය නිර්මාණය වෙන්නෙ. ඇත්තටම මම මේ වගේ චරිතයක් සිනමාවේ දැක නෑ. මේ චරිතය වෙනුවෙන් මම විශාල කැපවීමක් කළා. මටම සමීප වූ චරිතයක් බවට පත්වුණා. සැබෑ ජීවිතයේ මගේ චරිතය එහෙම නොවුණාට මම ඒ චරිතයට පණ පොවද්දී මට හිතුණා මටම වෙලා තියෙන දෙයක් ද, මට වෙන්න යන දෙයක් ද මේ කියලා. චරිතයේ සාර්ථකත්වය ඒක තමා.

හරිම සතුටින් කළ චරිතයක්. මම චිත්‍රපට විශාල සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය දී තියෙනවා. නමුත් මේක වෙනස්ම චරිතයක්. මට වුණත් මේ චරිතය අභියෝගයක් වුණා.

මේ චිත්‍රපයට නැරඹූ හැම කෙනෙක්ම ප්‍රශංසා කළා. බොහෝ දෙනෙක් කිව්වා, මේක මෙහෙම වුණා නම් තවත් හොඳයි, තව ටිකක් ගැඹුරින් මේ ගැන හිතුවා නම් හොඳයි වගේ අදහස්. ඒ අය කියන කතාව හරි. නිර්මාණයේ හොඳක් තියෙන නිසානේ ඒ වගේ අදහස් ඉදිරිපත් කරන්නෙ.

වැය කළ හැකි මුදල් ප්‍රමාණය අනුව තමා චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. අධ්‍යක්ෂවරිය බොහොම මහන්සි වෙලා කළ නිර්මාණයක්. ඒ වෙනුවෙන් ඇයට ස්තූති කරනවා. මේ ඇයගේ පළමු චිත්‍රපටය. අපි අතර හොඳ අවබෝධයක් තිබුණා. එය මේ චිත්‍රපටය සාර්ථක කර ගන්න ඉවහල් වුණා.

දුෂ්ට චරිත බහුතරයකට පණ පෙවූ ඔබට මේ වගේ චරිතයක් ලැබීම ගැන මොකද හිතන්නෙ. ?

මම ඔය සම්මාන ගැන නම් ලොකු විශ්වාසයක් තියන්නේ නෑ. එදා ඉඳලා මම එහෙමයි. මේ චරිතය මට ලොකු අභියෝගයක්. නමුත් එය මම සාර්ථකව කළා. මෑත කාලයේ විවිධ චරිත නිරූපණය කරන්න මට අවස්ථාව ලැබුණා. මේ වෙනුවෙන් හොඳ ප්‍රතිචාර තියෙනවා. කැමැත්තෙන්ම කළ චරිතයක්.

’69’ චිත්‍රපටයට නවකයන් පිරිසකුත් ඔබත් සමඟ කටයුතු කරනවා. ඒ අයගෙන් ලැබුණු සහයෝගය කොහොමද?

ඒ අය මට ගරු කරලා මම පෙන්වා දුන් අඩුපාඩු හදා ගත්තා. ලැබෙන චරිතයට සාධාරණයක් කරන්න නම් හැමෝම කතා වෙලා වැඩ කරන්න ඕනෙ. අධ්‍යක්ෂවරිය ඇතුළු මේ චිත්‍රපටයට සම්බන්ධ වූ හැමෝම හරිම සහයෝගයෙන්, කැපවීමෙන් ඒ කටයුතු සිදු කළා. මෙහි එන පොඩි චරිතය පවා හොඳින් කර තියෙනවා.

කලා ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ඔබ නවකයන්ට දෙන පණිවිඩය මොකක්ද?

නළුවෙක් වුණාම අපේ රසික රසිකාවියන්ට අවංක වෙන්න ඕනෙ. රසික රසිකාවියන් මත තමා අපේ මේ රස්සාව රැඳී තියෙන්නෙ. ඒ වගේමයි අපට ආදායමක් එන්නෙ ඒ අය නිසා. නිර්මාණයේදී අපි එහි චරිතයක් වෙන්න පුළුවන්. මේ තත්ත්වය සමහරුන් තේරුම් ගන්නේ නෑ. කෙනෙක් දැක්කාම හිනාවෙලා කතා කිරීමේ හැකියාව අපට තියෙන්න ඕනෙ. එහෙම නැතිව නොදැක්කා සේ යනවා නම් එය අනුමත කරන්න බෑ.

මගේ ජීවිතයේ මට ලොකුම ආදර්ශය දුන් කෙනා තමා විජය කුමාරතුංග. මම එතකොට ආධුනිකයෙක්. මම විජය අයියත් එක්ක ඒ දවස්වල ෂූටිං යනවා. ඔය යන අතරේ කවුරු හරි දැක්කාම විජය අයියගේ පුරුද්දක් තමා යන වාහනය නතර කරන්න කියන එක. එහෙම නතර කරන වාහනයෙන් බහින විජය අයියා ඒ ඉන්න හැමෝමත් එක්ක කොහොමද අයියා, කොහොමද අක්කා, කොහොමද නංගි මල්ලි කියලා කතා කරනවා. එහෙම කතා කරලා තමා යන ගමන යන්නෙ. විජය අයියා කොතැන දැක්කත් මිනිස්සු අත වනනවා. එයත් හරිම ආසාවෙන් ඒකට ප්‍රතිචාර දක්වනවා. මම ඉතින් මේක දැකලා හරියට සතුටු වුණා. එතකොට මගෙන් විජය අයියා ඇහුවා, ඇයි මල්ලි උඹට මිනිස්සු අත වනනකොට උඹ අත වනන්නේ නැත්තෙ කියලා. මම කිව්වා නෑ විජය අයියා, අයියටනෙ මිනිස්සු අත වැනුවෙ කියලා. එතකොට ඔහු කිව්වා, මට ඇහුණා කිහිප දෙනෙක් කිව්වා අන්න අරයත් ඉන්නවා කියලා. ඒ හින්දා එහෙම හිතන්න එපා. අපේ රසිකයෝ කියන්නෙ අපට ආදරය කරන අය. ඒ නිසා ඒ අය අත වනන්න ඉස්සර වෙලා අපි අත වනන්න ඕනෙ කියලා. මට ඒ කතාව හරියට හිතට වැදුණා.

කතාව ඇත්ත. මම එදා ඉඳලා රසිකයන් මට අත වනන්න ඉස්සර වෙලා මම ඒ අයට අත වනලා ආචාර කරනවා. යන වාහනය නවත්තලා කතා කරනවා. ඒක තමා නළුවෙක් තුළ තිබිය යුතු ප්‍රධානම දේ.

අනෙක ඉවසීම. අපට රසික ප්‍රතිචාර තිබුණට නොයෙක් ප්‍රශ්න තියෙනවා. මේ සියල්ල නිරාකරණය කර ගන්න අවශ්‍යම දේ තමා ඉවසීම. මගේ ජීවිතයේ මම නළුවෙක් වෙලා ඉන්නකොට සමහර අය මට විරුද්ධව කටයුතු කළා. ඒ තියෙන ඊරිසියාවට. නමුත් මම ඒ අයට ප්‍රතිචාර දැක්වූයේ නෑ. මගේ ගමන මම ගියා. පස්සෙ ඒ අයම මගේ මිතුරන් වුණා. මම ඒ අයට විරුද්ධව වැඩ කළා නම් අද මම මේ තැන නෑ. හදවතේ කිසිම දෙයක් තියා ගන්න හොඳ නෑ. අද මම දුෂ්ට නළුවෙක් වශයෙන් ඉහළ ප්‍රතිචාර ලබන්නේ හිටිය හොඳම හීරෝ වගේ. මිනිස්සු මට හරිම ආදරෙයි. ඒකට හේතුව මම හීරෝ වීමම නෙවේ. මිනිස්සු මගේ සැබෑ ජීවිතය ගැන දන්නවා. ඒකට මිනිස්සු ආදරය කරනවා.

එනිසා මම මේ ක්ෂේත්‍රයේ ඉන්න සහ මේ ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට කියන්නෙ අපේ වටිනාකමට මුදලක් හොයා ගැනීම වෙනම දෙයක්. නමුත් අපේ ලංකාවේ නළුවකුට ලොකු වටිනාකමක් තියාගන්න බෑ. අපට වෙනස් වෙන්න වෙනවා. දැන් අපේ වටිනාකමට මුදලක් ගන්න බෑ. එනිසා මේ හැම දෙයක්ම පාලනය කරගෙන ජීවත් වෙන්න ඕනෑ.

දිල්හානි ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT