Home » ජාතික ආරක්ෂාව, පාතාලය සහ සාක්ෂි වසන් කිරීම

ජාතික ආරක්ෂාව, පාතාලය සහ සාක්ෂි වසන් කිරීම

by mahesh
February 21, 2025 1:00 am 0 comment

ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාතෘකාව යළිත් හිටිගමන් කරළියට පැමිණ තිබේ. අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදීම පාතාල කල්ලි සාමාජිකයකුට වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය මීට පදනම් වූ කාරණයයි. ජාතික ආරක්ෂාව පිළිබඳ මහ ඉහළින් කතා කරන පිරිස් ඒ පිළිබඳ අර්ථකථන ඉදිරිපත් කරන්නේ එය මෙරට ඉතිහාසයේ සිදු වූ පළමු පාතාල කල්ලි ඝාතනය ලෙස සලකමිනි.

මේ පිළිබඳ සාකච්ඡා කිරීමට පෙර ජාතික ආරක්ෂාව යනු කුමක්දැයි අප අවබෝධකොට ගතයුතු ය. ජාතික ආරක්ෂාව යනු ඕනෑ ම රාජ්‍යයක කොඳු නාරටිය ලෙස සැලකිය හැකි ය. ජාතික ආරක්ෂාව බිඳනොවැටී පවත්වා ගැනීම රාජ්‍යයක් සතු වගකීම බව ඉතා පැහැදිලි ය. එමෙන් ම ජාතික ආරක්ෂාව යනු භූමියේ ආරක්ෂාව පමණක් නොවන බව ද අවධාරණය කළ යුතු ය. එය රටේ වෙසෙන මුළු මහත් ජනතාවගේ ජාති, ආගම්, කුල භේදයකින් තොරව, ජාතික අනන්‍යතාව සහ පරමාධිපත්‍යය ආරක්ෂා කර ගනිමින්, නිදහස් සහ සුරක්ෂිත පරිසරයක ජීවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වන තත්ත්වයකි.

ඉන්දීය දේශපාලන විශ්ලේෂකයකු වන ප්‍රභාකරන් පලේරි විසින් වර්ෂ 2008 දී ලියන ලද ‘ජාතික ආරක්ෂාව: අවශ්‍යතා සහ අභියෝග’ නම් කෘතියේ ජාතික ආරක්ෂාවට අන්තර්ගත විය යුතු මූලික කරුණු කිහිපයක් පෙන්වා දී ඇත. හමුදා ආරක්ෂාව, ආර්ථික ආරක්ෂාව, සම්පත් ආරක්ෂාව, දේශසීමා ආරක්ෂාව, ජන විකාශ ආරක්ෂාව, ආපදා ආරක්ෂාව, බලශක්ති ආරක්ෂාව, භූ මූලෝපායික ආරක්ෂාව, තොරතුරු ආරක්ෂාව, ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය ආරක්ෂාව, ජනවාර්ගික ආරක්ෂාව, පාරිසරික ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව සහ ජානමය ආරක්ෂාව යනු ඒ මූලික අංග වේ. ජාතික ආරක්ෂාව බිඳවැටීම යනු එකී සියලු අංගවල බිඳවැටීමයි.

එසේ නම්, පාතාලය කවර හෝ තැනක වෙඩි පත්තු කළ පමණින් ජාතික ආරක්ෂාව බිඳවැටීමක් සිදු විය නොහැකි ය.

එහෙත් කවර හෝ තත්ත්වයක් යටතේ පාතාලයට නිදහසේ ගිනිඅවි පත්තු කිරීමට ඉඩ නිර්මාණය වීමේ පරිසරයක් පැවතිය නොහැකි බව අපි අවධාරණය කරමු. විශේෂයෙන් නීතියේ ආධිපත්‍යය පවතින තැනක පාතාලයේ ගිනිඅවි පත්තු විය නොහැකි ය.

පාතාලය යනු දිය යට සැඟවූ රබර් බෝලයක් මෙන් ඕනෑ ම අවස්ථාවක ඉස්මතු විය හැක්කකි. එබැවින් ඉඩ ලැබෙන පළමු අවස්ථාවේ ම ඔවුහු ස්වකීය ගිනිඅවිය පත්තු කරති. පාතාලයට නිවාඩු දින, පූජනීය ස්ථාන, ආචාරධර්ම අදාළ නැත. ගිනිඅවිය ඉලක්ක වන්නේ කාට ද, ඉලක්කය සපිරුණු වහා එය පත්තු කිරීම ඔවුන්ගේ සිරිතයි. ඊට ගොදුරු වන අය අතර කුඩා දරුවා ද, මහල්ලා ද, රෝගියා ද සිටිය හැකි ය. එනිසා පාතාල ගිනිඅවි පත්තු කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වුවත්, එය ජාතික ආරක්ෂාව බිඳවැටීමක් ලෙස හැඳින්විය හැකි ද?

ජාතික ආරක්ෂාව බිඳවැටුණා යැයි තර්ක විතර්ක කරමින්, මහ හඬින් බෙරිහන් දෙන්නේ කාලාන්තරයක් තිස්සේ එකී පාතාල ත්‍රස්තවාදය හදා වඩා පෝෂණය කළ අය වීම ගැටලුවකි.

මෙතෙක් කල් පාතාලය සමඟ දේශපාලනය ඉතා හොඳින් බැඳී තිබිණි. නම ගිය බොහෝ දේශපාලකයන් ස්වකීය ආරක්ෂකයන් ලෙස බඳවාගෙන තිබුණේ පාතාල සාමාජිකයන් මිස ආරක්ෂක අංශ සාමාජිකයන් නොවේ. මෙහි අදහස, පාතාලය දේශපාලනය සමඟ ඉතා හොඳින් බැඳී පැවතුණු බවයි. දේශපාලකයන්ගේ සමාජ විරෝධී ක්‍රියා යටපත් කිරීමට සහ ආරක්ෂා කිරීමට පාතාලයෙන් ලැබුණු සහය අතිමහත් බව මේ අනුව හඳුනාගත හැකි ය.

පාතාලය හදා වඩා පෝෂණය කිරීමට දේශපාලකයන් සම්බන්ධ වූවා සේ ම, ඔවුන් සමාජගත කිරීමට මේ රටේ ජනමාධ්‍යය ද විවිධ මට්ටමින් දායක වී තිබේ. පාතාල නායකයන්ගේ නම් පොල් ගෙඩි සිරස්තලවලින් සමාජගතකොට, ඔවුන්ට අදාළ සමාජ වටිනාකම් දුන්නේ ජනමාධ්‍ය මිස අන් කවරෙක් ද? සමයංලා, වම්බොට්ටලා, තෙල් බාලලා ඇතුළු විවිධ නම් සමාජගත කළේ, නිර්මාණය කළේ ජනමාධ්‍ය ය. පාතාලය මර්දනය කිරීමට නම් පාතාලය හා බැඳුණු අනෙකුත් ජාල ද හෙළිදරවු කළ යුතු ය. මත්ද්‍රව්‍ය ජාවාරම, අවි ජාවාරම ඇතුළු සමාජ විරෝධී ක්‍රියා රැසක දේශපාලනය සහ පාතාලය වෙන් කළ නොහැකි සේ බැඳී පවතී. මේ පිළිබඳව දේශපාලනික හෝ සමාජ විද්‍යාත්මක විග්‍රහ කවරක් තිබුණත් පාතාලයේ රැකවරණය දේශපාලනයෙන් වියුක්ත නොකරන තාක් කල් මේ ගැටලුවට විසඳුම් සෙවිය නොහැකි ය. වර්තමානයේ සිල් ගත් උපාසකයන් බඳු බොහෝ දේශපාලකයන්ගේ ආරක්ෂාවට පසුපස සිටියේ පාතාලේ සාමාජිකයන් නොවේදැයි ඔවුනගේ රැස්වීම්වල ඡායාරූප පරීක්ෂා කිරීමෙන් හඳුනාගත හැකි වනු ඇත. ගාම්භීර ලෙස පැමිණෙන පාතාලයන් ඕනෑ ම සුප්‍රසිද්ධ ස්ථානයක අපරාධකොට පොලිස් අත්අඩංගුවට පත් වෙද්දී සිනාමුසු මුහුණින් ඡායාරූපවලට මුහුණ දෙන්නේ එකී දේශපාලන රැකවරණය හේතුවෙනි.

මේ නිසා ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටවල මෙන් පාතාලය අපරාධ සිදු කරන බව ඉතිහාසය පුරා දැකගත හැකිව තිබූ කරුණකි. එහෙයින් පාතාලය හදිසියේ හිසවූවා ය, වැනි අදහසක් සමාජගත කිරීම වැරදි කරුණකි. කවර දේශපාලන පක්ෂයක් බලයේ සිටිය ද, පාතාලය ස්වකීය ක්‍රියාකාරකම් සිදු කරනු ඇත. එහෙත් ඒ ක්‍රියාකාරකම් මැඬ පැවැත්වීමට අවශ්‍ය දේශපාලනික පෞරුෂය සහ ශක්තිය නිර්මාණය කරගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමට වර්තමාන රජයේ බලධාරින්ට හැකියාව ඇතැයි අපි අපේක්ෂා කරමු. එවිට පාතාලය සමඟ පාතාලයේ ගෝඩ් ෆාදර්ලාත් මර්දනය කරවීමට හැකි වනු ඇත.

වර්තමානයේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් අභියෝග කරන බොහෝ අයගෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේදී, පාස්කු ඉරිදා ප්‍රහාරයේදී, රතුපස්වල සිද්ධියේදී, ජනමාධ්‍යවේදීන්ට පහර දී කකුල් කඩද්දී ඔබ සිටියේ කවර තැනක දැයි විමසීමට අපි කැමැත්තෙමු. එදා ප්‍රශ්න නොකළ ජාතික ආරක්ෂාව අද ප්‍රශ්න කරන්නේ කවර මුඛයකින්දැයි විමසිය යුතුව ඇත.

ඒ අතර මේ මොහොතේ පාතාල ක්‍රියාකාරකම් සිදු වන්නේ බොහෝ අතීත දේශපාලනික ක්‍රියාකාරකම් සහ ඝාතන සිදුවීම්වල සාක්ෂි මකා දැමීමට යැයි ද මතයක් පවතී. එබැවින් මේ ඝාතනවල යටිපෙළ වුවමනාවන් හඳුනා ගැනීම සහ කියවා ගැනීම ආරක්ෂක අංශවල වගකීමකි.

කවර තත්ත්වයක් යටතේ වුව ද මෙවැනි සිදුවීම් සිදු නොවිය යුතුව ඇත. එපමණක් නොව, ඒ පිළිබඳ ප්‍රශ්න කිරීම්වලදී ශික්ෂණයකින් යුතුව ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ නිකුත් කිරීම රජයේ බලධාරින්ගේ ද වගකීමක් බව අපි අවධාරණය කරමු.

මෙවැනි තනි තනි සිදුවීම් නිසා සමස්ත ජාතික ආරක්ෂාව බිඳවැටී ඇතැයි කීමට තරම් අපි අදේශපාලනික නොවෙමු. එහෙත් මෙවැනි තනි තනි සිදුවීම් පවා සිදු වීමේ ඇති ඉඩ සහ වටපිටාව ඇහිරීමත්, පාතාලය සහ දේශපාලනය අතර සම්බන්ධතා හෙළිදරවුකොට පාතාලය හා බැඳුණු ජාවාරම් මර්දනය කිරීමත් සඳහා වැඩපිළිවෙළක් නොපමාව සකස් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT