Wednesday, April 23, 2025
Home » ටින්මාළු සඳහා වැට් ඉවත් කර පරිභෝජනය වැඩි කරන්න

ටින්මාළු සඳහා වැට් ඉවත් කර පරිභෝජනය වැඩි කරන්න

ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමය ඉල්ලයි

by mahesh
February 21, 2025 1:00 am 0 comment

බුද්ධිකා බ්‍රාහ්මණගේ

අඩු ආදායම්ලාභී පවුල්වල මන්දපෝෂණයට පිළියමක් වශයෙන් වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබාගැනීම සඳහා දේශීයව නිෂ්පාදනය කරන ටින්මාළු සඳහා පනවා ඇති සියයට 18% වැට් බද්ද ඉවත් කරන ලෙස ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමය (CFMASL) ඉල්ලයි.

ටින්මාළු ආනයනය නැවතීමට ගත් තීරීණය පිළිබඳව රජයට ප්‍රශංසා කළ ටින්මාළු නිෂ්පාදකයෝ පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය කළේ අපනයන වෙළෙඳපොළ ජය ගැනීමට අවශ්‍ය නිෂ්පාදන වියදම අවම කිරීම සඳහා කර්මාන්තයක් ලෙස සැලසුම් කරන බවයි.

පසුගියදා පැවති මාධ්‍ය හමුව අමතමින් ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු පවසා සිටියේ,

“ටින්මාළු කර්මාන්තයේ මූලික අභිප්‍රාය සාමාන්‍ය ජනයාට රසවත් පෝෂ්‍යදායී ආහාරයක් පහසු මිලට ලබාදීමයි. පවතින ආර්ථික තත්ත්වයත් සමඟ අඩු ආදායම් ලාභීන්ට මිලදීගත නොහැකි භාණ්ඩයක් බවට ටින්මාළු පත්වෙලා. මිල ඉහළ යාමට බලපෑ හේතු අතර, 18% වැට් බද්ද මූලික සාධකයක්. සංගමයක් විදිහට අපි රජයෙන් ඉල්ලා සිටින්නේ ටින්මාළු අත්‍යවශ්‍ය භාණ්ඩයක් බැවින් ඒ සඳහා වන වැට් බද්ද ඉවත් කරන ලෙසයි.”

වැට් බද්ද ඉවත් කළ විට ටින්මාළු ටින් එකක මිල රුපියල් 100කින් පමණ අඩුවිය හැකියි. මාළු ටින් එකක මිල රුපියල් 80 – 60ත් අතර අඩු වීමෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා එය වඩාත් දැරිය හැකි මිලක්. එසේම ශිරාන් ප්‍රනාන්දු පවසා සිටියේ, ශ්‍රී ලාංකිකයින් අතර ප්‍රෝටීන් පරිභෝජන මට්ටම ඉතා පහළ මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනටමත් අනතුරු අඟවා ඇති බවයි.

මෙරට ටින්මාළු කර්මාන්තය අරඹා දැනට වසර 10ක කාලයක් ගතවී තිබේ. මුලින් කර්මාන්තශාලා දෙකකින් පමණ ආරම්භ කළ මෙම කර්මාන්තයේ දැනට ලියාපදිංචි කර්මාන්තශාලා 21ක් ක්‍රියාත්මක වෙයි. මෙම කර්මාන්තය මෙරට ධීවර කර්මාන්තයේ මිල තීරණය කරන ප්‍රධානතම සාධකය බවට පත්වී තිබේ. මෙරට ටින්මාළු කර්මාන්තයේ දිනක නිෂ්පාදන හැකියාව ටින් 500,000කි. දිනෙක පරිභෝජනය ලක්ෂ දෙකක් පමණ වීම හේතුවෙන් ටින්මාළු නිෂ්පාදනය අතිරික්තයක් බවට පත්වෙමින් තිබේ. මාළු අස්වැන්න ඉහළ කාලයේදී නිෂ්පාදන අතිරික්තයක් ඇතිවී තිබේ. නිෂ්පාදන අතිරික්තයක් පැවතීම හේතුවෙන් නිෂ්පාදනය අඩු කළ නොහැක්කේ ධීවර කර්මාන්තයට ඉන් දැඩි බලපෑමක් එල්ල වීම නිසයි. මෙරට මාළු පරිභෝජනය ඉහළ නැන්වීම මෙන්ම ධීවරයාට සාධාරණ ආදායමක් ලබාදීමට අවශ්‍ය වෙළෙඳපොළක් සැකසීමත්, ටින්මාළු කර්මාන්තය වැඩිදියුණු කිරීමත් යන කරුණු තුන පිළිබඳවත් රජයේ අවධානය යොමු විය යුතු බව මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

ලංකාව වටා මුහුද තිබුණත් සාගර සම්පත නිසි ලෙස භාවිතයට ගෙන නැති බව ශිරාන් ප්‍රනාන්දු මහතා මෙහිදී වැඩිදුරටත් අවධානරණය කළේය.” අපි දැනට නෙළා ගන්නේ රටේ එක් මුහුදු තීරයක් පමණයි. නැඟෙනහිර වෙරළ තීරයේ ප්‍රයෝජනයට නොගත් විභවයන් තිබෙනවා. ඔලුවිල් ධීවර වරාය ක්‍රියාත්මක කිරීම ඇතුළුව නැඟෙනහිර වෙරළේ ධීවර ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් මාළු මිල තවදුරටත් අඩු කළ හැකියි. මාළු අපනයනය සඳහා මෙන්ම මාළු අස්වැන්න වර්ෂයේ සෑම කාලයකම සමානව ලබාගත හැකියි. මේ පිළිබඳවත් රජයේ අවධානය යොමුවිය යුතුයි.”

(CFMASL) හි ලේකම් කපිල බාලසූරිය පවසා සිටියේ, ටින්මාළු කර්මාන්තය සඳහා නිසි සහය ලැබේ නම් උම්බලකඩ කර්මාන්තයද මෙරට ඇරඹීමේ ශක්‍යතාවන් තම කර්මාන්තශාලා සතුව පවතින බවයි. එමඟින් වාර්ෂිකව උම්බලකඩ ආනයනයට වැයවන ඩොලර් ප්‍රමාණය අඩුකරගත හැකි බවත් වැඩිදුරටත් පැවසීය. මෙරට ටින්මාළු කර්මාන්තය ඇරඹීමට පෙර ටින්මාළු ආනයනය සඳහා වසරකට ඩොලර් මිලියන 79ක් වැය කළ බවත් එම ඩොලර් ප්‍රමාණය රටට ඉතිරි කරදීමට හැකිවීම පිළිබඳව කර්මාන්තකරුවන් ලෙස සතුටට කරුණක් බවත් පැවසීය.

“වත්මන් රජය ගැටලුව මැනවින් වටහාගෙන ආනයනය සීමා කළා. ටින්මාළු සඳහා උපරිම මිලක් පනවා තිබෙනවා. අපි ඉල්ලන්නේ මේ කර්මාන්තය අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට තවදුරටත් උපකාර කරන ලෙසයි.” කපිල බාලසූරිය අවධාරණය කළේය.

ඡායාරූපය-විමල් කරුණාතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT