Home » CNCI Achiever Awards 2025 කුසලාන එළිදක්වයි

CNCI Achiever Awards 2025 කුසලාන එළිදක්වයි

by mahesh
February 21, 2025 1:00 am 0 comment

ජයසිරි මුණසිංහ

ශ්‍රී ලාංකේය කාර්මාන්තකරුවන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඔසවා තැබීමට දිරිය සැපයීමේ අරමුණින් ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය 24 වෙනි වතාවට සංවිධානය කරනු ලබන විශිෂ්ටතම කර්මාන්තකරුවන් ඇගයීමේ CNCI Achiever Awards 2025 සම්මාන උලෙළ මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කොට ඇත.

සම්මාන උලෙළෙහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහකත්වය ලබාදෙන්නේ ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) යි.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ සභාපති කෙවින් එඩ්වඩ්, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ යන මහත්ම මහත්වරුන් ප්‍රධාන සම්භාවනීය ආරාධිතයින් රාශියකගේ සහභාගීත්වයෙන් ඉකුත්දා කොළඹ කොල්ලුපිටිය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති සම්මාන උලෙළේ ජයග්‍රාහී කුසලාන එළිදැක්වීමේ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය..

වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ අපනයන ආදායම මූලික කුලුනු හතරක් මත වැඩි කර ගැනීමට ඉලක්ක කොට ඇතැයි කීවාය. ඒ අනුව රථවාහන එකලස් කිරීමේ කර්මාන්තයෙන් විශාල ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. විශේෂයෙන් මේ හා බැඳුණු විශේෂිත කර්මාන්ත කලාපයක් පිහිටවනවා. ඒ වගේම සැකසූ ආහාර කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා පියවර ගන්නවා. ඊට අමතරව ඖෂධ නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට කටයුතු කරනවා. ඊට අමතරව මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නවෝදයක් ඇති කිරීමට කටයුතු කරනවා.

අපේ රටේ ජනගහනයෙන් ව්‍යවසායකත්වයට යොමූ වී තිබෙන්නේ 2.8%යි. අඩුම තරමේ මෙය 10% දක්වා 2030දී වැඩි කර ගත යුතුයි. අප වැඩ කරන්නේ ඒ ඉලක්කයට ළඟා වීමටයි. අපේ අපනයන කර්මාන්තවල නිෂ්පාදනවල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය ඉහළ නංවාගත යුතුයි. ඒ වගේම ඵලදායි හා කාර්යක්ෂම නිෂ්පාදන ක්‍රමවේදයකට යා යුතුයි. නිෂ්පාදන පිරිවැය අඩු කර ගත යුතුයි ඒ සඳහා උපරිමයෙන් තාක්ෂණය භාවිතා කළ යුතුයි. එය දිරි ගැන්වීමට අමාත්‍යංශයක් ලෙස අප කටයුතු කරනවා. කාර්මිකකරණය රටට ආදායම් උපයන ප්‍රධාන මාර්ගයක් බවට පත් කර ගන්නවා. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල්කාරීත්වය ඇතිව නව කර්මාන්ත ඇති කරනවා. ව්‍යවසායන් වැඩිදියුණු කරනවා.

ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති කෙවින් එඩ්වඩ් මහතා,

අපි 1960 කර්මාන්ත මණ්ඩලය පිහිටෙවූවේ. එදා මෙදා තුර ලංකාවේ කර්මාන්තකරණය දියුණු කිරීමට කැපවී තිබෙනවා. මෙවර ව්‍යාපාර අංශ හයක් උදෙසා සම්මාන පිරිනමනවා. ක්ෂුද්‍ර පරිමාණ කර්මාන්ත, සුළු පරිමාණ කර්මාන්ත, මධ්‍ය පරිමාණ කර්මාන්ත, මහා පරිමාණ කර්මාන්ත, ඉතා විශාල කර්මාන්ත සහ රාජ්‍ය අංශය ඇගැයීමට මෙහිදී ලක් කරනවා. අයදුම්පත් අංශ දොළහක් ආවරණය වන පරිදි ලබා ගැනිමට බලාපොරොත්තු වෙනවා. අයදුම්පත් ඉංග්‍රීසි සහ සිංහල භාෂාවලින් අප මණ්ඩලයේ www.cnci.lk වෙබ් අඩිවියෙන් ලබා ගත හැකිය. අයදුම්පත් cnci@slt.lk විද්‍යුත් තැපෑලට එවිය යුතුය.

විනිශ්චය මණ්ඩලය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බැංකු අංශයෙන්, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිලධාරීන්ගේ සහය ඇතිව අභ්‍යන්තර සහ බාහිර වශයෙන් කමිටු දෙකකින් යුක්තව කටයුතු කරනවා. කර්මාන්ත මණ්ඩලයේ මහ ලේකම් සාමන්ත වික්‍රමසේන මහතා මෙහිදි කතා කළහ.

ඡායාරූප – සුදත් මලවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT