Home » අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට රජයෙන් කඩිනම් විසඳුම්

අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට රජයෙන් කඩිනම් විසඳුම්

by chanaka
February 21, 2025 9:39 am 0 comment

අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වාලීම සඳහා කඩිනම් විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සහ ප්‍රවාහන, සිවිල් ගුවන් සේවා හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (20) පාර්ලිමේන්තුවේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.

මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මහතා, පරිසර අමාත්‍යංශයේ ලේකම් රෝහිත උඩුවාවල මහතා සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ නිළධාරීන් ඇතුළු පොළොන්නරුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් සහභාගී වී සිටියහ.

නිරන්තරයෙන් දුම්රියවල අලිඇතුන් සහ වනසතුන් ගැටීමට අදාළ සිදුවීම් මෑතකාලයේදී වැඩි වශයෙන් දක්නට ලැබුණු අතර එවැනි සිදුවීම් පෙර හඳුනාගෙන ප්‍රායෝගික විසඳුම් සෙවීම සඳහා නව රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් පවතී. ඒ අනුව මෙවර අයවැය තුළින් ද අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා විශේෂයෙන් ප්‍රතිපාදන වෙන් වීය. ඒ අනුව අලිඇතුන් දුම්රියේ ගැටීමට විසඳුම් ලෙස වනජීවී නිළධාරීන් හා දුම්රිය රියදුරු නිලධාරීන් ඒකාබද්ධතාවයෙන් උතුරු හා මඩකලපු සහ වනාන්තර ආසන්නයෙන් ගමන් ගන්නා දුම්රියන්හි රාත්‍රී දුම්රිය වාරවලදී අලි ඇතුන් ගැටෙන තැන් පිළිබඳ අවධානයෙන් ගමන් කිරීම සඳහා දැනුවත් කිරීමටත්, ඒ සඳහා දුම්රිය රියදුරන් ඇතුළු කාර්ය මණ්ඩලය සඳහා නිසි පුහුණුවක් ලබා දීමටත්, මෙම කටයුත්ත සඳහා ස්වේච්ඡාවෙන් දායක විය හැකි පරිසර කණ්ඩායම් ඒකාබද්ධ කර ගැනීමේ ක්‍රියාමාර්ග ගැනීම සඳහාත් අවධානය යොමු විය.

විශේෂයෙන්ම සංවේදක පද්ධති (Senor System) සවි කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා දැනට අලි ඇතුන් ගැටෙන ප්‍රදේශවල වාර්තාවක් ගෙන, එම ප්‍රදේශවල වේග පුවරු සවි කිරීම හා අනතුරු ඇඟවීම් පුවරු සවි කිරීම අදිය කෙටිකාලීන විසඳුම් ක්‍රියාවලීන් ලෙස හඳුනා ගෙන ඇති අතර බඩු රැගෙන යන දුම්රිය දහවල් කාලයේ ධාවනය කිරීම සහ දුම්රිය වේග සීමා පැණවීම මගින් මෙම තත්වය පාලනය කළ හැකි බවට අවධාරණය කරන ලදී.

දුම්රියේ අලි ඇතුන් ගැටීම වැළැක්වීමට කෙටිකාලීන සහ දිගුකාලීන විද්‍යාත්මක සහ ප්‍රායෝගික විසඳුම් පිළිබඳ මෙම සාකච්ඡාවේ දී තීරණය වූ අතර මෙම තීරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා වන ඊළග සාකච්ඡාව ඉදිරි දිනක දී පැවැත්වීමට කටයුතු කරන ලදී.

මේ අවස්ථාව සඳහා අලි මිනිස් ගැටුම පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස් මෙන් ම පරිසරවේදීන් ද සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT