Home » මහින්ද දින දෙකක ගුවන් ගමනකට බිලියන 5ක් වැය කරලා

මහින්ද දින දෙකක ගුවන් ගමනකට බිලියන 5ක් වැය කරලා

පවුල පිටින් රට ගිහින්

by mahesh
February 21, 2025 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

දින 2ක ඉන්දියානු සංචාරයක් සඳහා 2013දී හිටපු ජනාධිපතිවරයා විසින් රුපියල් බිලියන 5 කට අධික වියදමක් දරා තිබෙන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රන් මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

රට ආර්ථික වශයෙන් පරිහානියට පත්වීමට වැරදි දේශපාලන භාවිතයන් දැඩි ලෙස බලපෑ බවත් ජනතා බදු මුදල් බරපතළ ලෙස වියදම් කරමින් විවිධ වකවානුවලදී බලයේ සිටි දේශපාලන නායකයන් විදෙස් සංචාරවල නිරත වී ඇති බවත් ඒවාට අදාළ තොරතුරු ඉදිරිපත් කරමින් විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කීවේය.

ඒ මහතා මෙසේ ද කීවේය.

“ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාරවලට අදාළ තොරතුරු ටිකක් මා සතුව තිබෙනවා. 2013 හිටපු ජනාධිපතිවරයා දින 2ක ඉන්දියානු සංචාරයක නිරත වී තිබෙනවා. ඒ ගමනට 72ක් ගිහින් තිබෙනවා.

රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් 12ක්, ඊට අමතරව තව 11ක්, කාන්තාවන් 5ක්, වෛද්‍ය කාර්ය මණ්ඩලයේ 1ක්, ආරක්ෂක සේවයේ කියලා භාණ්ඩයක් තිබෙනවා. පොලීසියෙන් වෙනම කොටසක් ගිහින් තිබෙනවා.

මාධ්‍යවේදීන් කියලා තව කොටසක් ගිහින් තිබෙනවා. ජනාධිපති ආර්යාවගේ කියලා තව පිරිසක් ගිහින් තිබෙනවා. ජනාධිපති ආර්යාවගේ ආරක්ෂාවට කියලා ගුවන්, නාවික, යුද හමුදා වශයෙන් වෙනම ගිහින් තිබෙනවා. මේක සමස්තයක් ලෙස ඒ කාලේ මොනතරම් වියදමක්ද? බිලියන පහකට වැඩියි මේ වියදම පමණක්. ඉතා විශාල වියදමක් මේ සඳහා දරා තිබෙනවා.

ඒ වගේම 2013 තව සංචාරයක් සිදු කර තිබෙනවා. ජනාධිපති ආර්යාවත් ගිහින් තිබෙනවා. කාන්තා මන්ත්‍රීවරියන් 11ක් ගිහින් තිබෙනවා. තව සාමාජිකයන් 31ක්, ආරක්ෂාව සඳහා 28ක්, මාධ්‍යවේදීන් ලෙස 13ක් ගිහින් තිබෙනවා. එහෙම ගත්තම මේ සල්ලි කාගේ ද කියන ප්‍රශ්නය එනවා.

ඒ වගේම 2018 අමෙරිකාවට නැවත ගිහින් තිබෙනවා. ඒ සංචාරයට 78ක් ගිහින් තිබෙනවා. ජනාධිපති, ජනාධිපති ආර්යාව, මන්ත්‍රීවරු ඇතුළු නවදෙනෙක්, කාර්ය මණ්ඩලය 28ක්, ප්‍රොටකෝල් ඔෆිසර්ස්ලා 2ක්, ආරක්ෂාවට 13ක්, මාධ්‍යවේදීන් කියලා 25ක්, සමස්ත වියදම ලෙස ඒ කාලේ මිලියන පනහකට අධික වියදමක් ගිහින් තිබෙනවා.

ඒ වගේ සංස්කෘතියක් තමයි මේ අපි වෙනස් කරමින් සිටින්නේ. මම මේ සඳහන් කළේ කුඩා උදාහරණ කිහිපයක් විතරයි. මේ දේවල් අපි වෙනස් කරගෙන යනකොට අපට මඩ ගහනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT