ක්‍රිකට් තරග බිමේ ආසියානු රටවල දස්කම් දැක්වූ ප්‍රබල ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ආසියානු ලෙජන්ඩ්ස් ලීග් (Asian Legends League 2025 / ALL T20) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකන් ලයන්ස් සංචිතය නම් කර තිබේ. තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතුව නම් කර ඇති මේ සංචිතයට ක්‍රීඩකයෝ 16 දෙනකු ඇතුළත්ව සිටින අතර, ආරම්භක පිතිකරුවකු වන ධනුෂ්ක ගුණතිලක නම් කර තිබීම විශේෂත්වයකි.
කණ්ඩායම් 5ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ තරගාවලිය මාර්තු මස 10 වැනිදා සිට 18 වැනිදා දක්වා ඉන්දියාවේ රාජස්ථාන්හි මිරාජ් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා ලයන්ස් සමඟ ඒෂියන් ස්ටාර්ස්, ඉන්දියන් රෝයල්ස්, ඇෆ්ගනිස්තාන් පතාන්ස් සහ බංග්ලාදේශ් ටයිගර්ස් ලෙස කණ්ඩායම් මේ තරගාවලියට එක් වෙයි.
කේදර් ජාදව්ගේ නායකත්වයෙන් යුත් ඒෂියන් ස්ටාර්ස් කණ්ඩායමට ද ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සිවුදෙනකු එක්ව සිටිති. ආරම්භක පිතිකරුවන් වන ළහිරු තිරිමාන්න, ඩිල්ෂාන් මුණවීර, තුන් ඉරියව් ක්‍රීඩකයන් වන ශෙහාන් ජයසූරිය සහ සීක්කුගේ ප්‍රසන්න ද ඊට ඇතුළත්ව තිබේ.
ශ්‍රී ලංකන් ලයන්ස් පිල මාර්තු 11 වැනිදා ඉන්දියන් රෝයල්ස් පිලට එරෙහිව පළමු තරගයට එක්වන අතර, දෙවැනි තරගය 12 වැනිදා ඇෆ්ගන් පිලට එරෙහිව පැවැත්වෙයි.
13 වැනිදා ඒෂියන් ස්ටාර්ස්ට එරෙහිව තරග වදින ශ්‍රී ලංකා පිල 14 වැනිදා මූලික වටය අවසන් කරන්නේ බංග්ලාදේශ් ටයිගර්ස් පිල සමඟ තරගයෙනි.
ශ්‍රී ලංකන් ලයන්ස් සංචිතය – තිසර පෙරේරා (නායක), තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, චාමර කපුගෙදර, චතුරංග ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක, ජීවන් මෙන්ඩිස්, අශාන් ප්රියංජන්, ඉසුරු උදාන, චාමර සිල්වා, අසේල ගුණරත්න, ඇන්ජලෝ පෙරේරා, තිලාන් තුෂාර, මලින්ද පුෂ්පකුමාර සහ මිලින්ද සිරිවර්ධන.