Sunday, April 20, 2025
Home » තීක්ෂණ ලෝකෙන්ම එක වෙයි

තීක්ෂණ ලෝකෙන්ම එක වෙයි

by Gayan Abeykoon
February 20, 2025 1:26 am 0 comment

නිරෝ­ෂාන් ප්රියං­කර

ජාත්‍ය­න්තර එක්දින ක්‍රිකට් තරග බිමේ පන්දු යව­න්නන් අතර ලොව පළමු ස්ථාන­යට පත්වී­මට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබේ.

ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය ඊයේ නිකුත් කළ නව­තම ශ්‍රේණි­ගත කිරීම් අනුව මෙතෙක් පෙර­මුණ ගෙන සිටි රෂීඩ් ඛාන් (669) දෙවැනි තැනට දම­මින් තීක්ෂණ පෙර­මුණ ගෙන ඇත්තේ ශ්‍රේණි­ගත ලකුණු 680ක් සම­ඟිනි. 24 හැවිරිදි තීක්ෂණ පන්දු යව­න්නන් අතර පෙර­මු­ණ­ගත් පළමු අව­ස්ථාව මෙය වීම විශේ­ෂ­ත්ව­යකි.

තීක්ෂණ ලබා­ගත් ඉහ­ළම ශ්‍රේණි­ගත ලකුණු සංඛ්‍යාව (680) මෙය නොවන අතර, ඔස්ට්‍රේ­ලි­යා­වට එරෙහි පළමු තර­ග­යෙන් අන­තු­රුව ඔහුට ලකුණු 686ක් හිමිව තිබේ. එහෙත් දෙවැනි තර­ග­යේදී කඩුලු දවා ගැනී­මට නොහැකි වීමෙන් ලකුණු සංඛ්‍යාව පහත බැස ඇත.

ඔස්ට්‍රේ­ලි­යා­වට එරෙ­හිව කොළඹ පැවති පළමු එක්දින තර­ග­යේදී කඩුලු 4ක් බිඳ දම­මින් දැක්වූ දස්කම් හේතු­වෙන් තීක්ෂ­ණට පෙර­මුණ හිමි විය.

වනිඳු හස­රංග (570) ස්ථාන 2ක් ඉහ­ළට එමින් 19 වැනි අත්ක­ර­ගෙන ඇති අතර, දුනිත් වෙල්ලා­ලගේ ස්ථාන 15ක් ඉදි­රි­යට ඒම කැපී පෙනේ. ඔහු මේ වන විට 37 වැනි තැනට පත්ව ඇත්තේ සිය හොඳම ශ්‍රේණි­ගත ලකුණු ලෙස ලකුණු 506ක් සම­ඟිනි. අසිත ප්‍රනාන්දු ද ස්ථාන 30ක් ඉහ­ළට පැමිණ 57 තැන අත්කර ගෙන තිබේ.

මේ අතර දීර්ඝ කාල­යක් පුරා එක්දින පිති­ක­රු­වන් අතර පෙර­මුණ ගෙන සිටි පාකි­ස්තා­නයේ බාබර් අසාම් දෙවැනි තැනට දම­මින් ඉන්දි­යාවේ ශුබ්මන් ගිල් පළමු ස්ථානය හිමි කර ගෙන තිබේ. ශ්‍රී ලංකා සීමිත ඕවර නායක චරිත් අස­ලංක සිය හොඳම ශ්‍රේණි­ගත කිරීම සට­හන් කර­මින් ලකුණු 694ක් සමඟ 8 වැනි තැනට පත්ව ඇත. පැතුම් නිස්සංක (641) ස්ථාන දෙකක් පහ­තට වැටී 13 තැන සිටින අතර, කුසල් මෙන්ඩිස් (613) ස්ථාන 3ක් ඉදි­රි­යට එමින් 21 වැනි තැන සිටී.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT